මාලිංග වගේම බෝල් කරලා සුද්දන්ව හොල්මන් කරන කවුද මේ කෑගල්ලෙ කසුන්

13537
0

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නිම කරන තරගය ලෙස දෙවැනි විස්සයි විස්ස තරගය පසුගිය නව වැනි සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබිණි. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හැන්දෑවේ හත තරගය ආරම්භ වීමේ වෙලාව ලෙස සඳහන් විණි. ඊට පෙර දින ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියා යන කණ්ඩායම් දෙකම මෙම තරගයට පෙර අවසන් පුහුණු සැසි සඳහා සහභාගි වී සිටියහ. මෙවන් පුහුණු සැසි සඳහා ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරන පන්දු යවන්නන්ගේ සහාය ලබාගැනීම සාමාන්‍ය සිරිතකි. එලෙස පැමිණි රාගම ක්‍රිකට් සමාජයේ පන්දු යවන්නකු දහවල් ආහාරය ගනිමින් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පන්දු යැවීමෙන් අනතුරුවය.

ඕස්ට්‍රේලියා කණ්ඩායම පුහුණුවන දෙස බලමින් ආහාර ගනිමින් සිටි ඔහු වෙත එක්වරම පැමිණියේ ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායමේ පුහුණුකරුය. පුහුණු සැසිය සඳහා ඕස්ට්‍රේලියා පිතිකරුවන් වෙත පන්දු යැවීමට හැකිදැයි පුහුණුකරු මෙම තරුණයාගෙන් විමසා සිටියේය. කැමැත්තෙන්ම තරුණ පන්දු යවන්නා ඊට එකඟ විය. පළමු පන්දු දහය ඇතුළතදී ඔහු ඕස්ට්‍රේලියා නායක ඩේවිඩ් වෝනර්ගේ මැද ඉන්න ගලවා දැමීය. තරුණයා වෙත පැමිණ උරහිසට තට්ටුවක් දැමූ ඕස්ට්‍රේලියා නායකයා “ගුඩ් බෝලින් මාලි” යැයි පැවැසීය. ඉන් අනතුරුව පන්දුවට පහර දුන්නේ විස්සයි විස්ස තරග දෙකේදීම ලංකාවට මහත් හිසරදයක් වූ ග්ලේන් මැක්ස්වෙල්ය. වැඩි වේලා යන්නට මත්තෙන් ඔහුද උඩ පන්දුවක් ලබාදුන්නේය. මැක්ස්වෙල්ද තරුණයා වෙත පැමිණ “ස්ලිංගා බෝල්” යැයි පැවැසීය. ඔවුන්ගේ ප්‍රතිචාරයෙන් තරුණයාගේ හිතේ ඇතිවූයේ මහත් සතුටකි.

දෙවැනි විස්සයි – විස්ස තරගය අතරතුර ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්වට සමානවම පන්දු යවන නවක ක්‍රීඩකයකු මිනිත්තු කිහිපයකට රූපවාහිනිය මඟින් පෙන්වූ අයුරු ඔබට මතක ඇති. තරගයේ විස්තර විචාරය ගෙන ආ විචාරකයා කීවේ මේ නම් මාලිංගම බවය. ඔබ එදා රූපවාහිනියේ දුටුවේ ඕස්ට්‍රේලියා පුහුණු සැසියට පන්දු යැවූ තරුණයාගේ පටිගත කරගත් දර්ශනය. මාලිංගගේ ඉරියව්වෙන්ම පන්දු යවන මේ නවකයාගේ නම ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් දැන සිටියේ නැත. වෝනර් “ගුඩ් බෝලින් මාලි” යැයි කීවෙත්, මැක්ස්වෙල් “ස්ලිංගා බෝල්” යැයි කීවේත් එනිසාය.

01-2කසුන් කල්දේරා නම් මේ යෞවනයා සබරගමුවේ පුතෙකි. කෑගල්ලට තරමක් එපිටින් ඇති “මහාකූර” ඔහු අදටත් ජීවත් වන සොඳුරු ගම් පියසය. පිරිමි දරුවන්ම හයදෙනකු සිටින පවුලේ කසුන් හතරවැනියාය. සෙල්ලම් වයසට පැමිණි දා පටන් කොල්ලන් හයදෙනා කළේ ගෙදර මිදුලේ බෝල ගැසීමය. තාත්තාගෙන් ඊට කිසි විරෝධයක් නොවුණු අතර ඔහුද දැඩි ක්‍රිකට් ලෝලියකු විය. කසුනුත් ඔහුගේ සොයුරනුත් අධ්‍යාපනය ලැබුවේ නිවෙස අසලම පිහිටි කෑගල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයේය. සොයුරන් හයදෙනා ක්‍රිකට් ගහන දෙස දිනක් බණ්ඩාරනායක විදුහලේ ක්‍රීඩා ආචාර්යවරයා වූ කරුණාතිස්ස මහතා හොඳින් බලා සිටියේය. එහිදී ඔහු දුටුවේ කසුන් පන්දු යවන ඉරියව්වේ යම් විශේෂත්වයක් ඇති බවය. කසුන්ගේ තාත්තාව හමුවූ කරුණාතිස්ස මහතා පැවැසුවේ පුතා හෙට සිට පාසලේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා එවන ලෙසය.

“සැහැල්ලු පන්දු ක්‍රීඩා කරපු මම ලෙදර් ගහන්න ගත්තෙ ඉස්කෝලෙ ක්‍රිකට් ෆ්‍රැක්ටිස් කරන්න ගත්තට පස්සේ. කරුණාතිස්ස සර්ගෙන් මම හොඳ පුහුණුවක් ලැබුවා. ඉස්කෝලෙ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයත් වුණා. පාසල් අතර තරගයකදී මම ලකුණු දාසයකට විකට් අටක් ගත්තා. එදා කරුණාතිස්ස සර් කිව්වා පුතා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා කියලා. ඔය වෙනකොට මම ලසිත් මාලිංග කෙනෙක් ගැන දැනගෙන හිටියේ නැහැ. ලසිත් අයියා ජාතික කණ්ඩායමට ඇවිත් රටම දන්න කෙනෙක් වුණේ ඊට ටික කාලෙකට පස්සෙ. දවසක් කරුණාතිස්ස සර් මට කිව්වා කසුන් පුතා අන්න ඔයා වගේ බෝල් කරන කෙනෙක් ජාතික කණ්ඩායමට ඇවිත් ඉන්නවා. ඔයත් මහන්සි වෙලා ෆ්‍රැක්ටිස් කළොත් කවදහරි ඔයාටත් එතැනට යන්න පුළුවන් කියලා. බණ්ඩාරනායක මහ විදුහලේ විදුහල්පති පී. මනම්පේරි මහත්තයත් මට ගොඩක් උදවු කළ මාව දිරිමත් කළ කෙනෙක්.”

පාසල් කාලයෙන් පසුව කසුන් මොරටුවට එන්නේ එහි සිටි ඥාතීන්ගේ මාර්ගයෙනි. ඒ හරහා ඇතිකරගන්නා සබඳතා මත ඔහු මොරටුව ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය. ඒ මාස තුනක් වැනි කෙටි කාලයකටය. ඉන් පසුව කසුන්ගේ ඥාති සොයුරකු වන නිලන්ත කුරේ කසුන්ව හඳුන්වා දෙනු ලබන්නේ රාගම ක්‍රීඩා සමාජයේ සභාපති රොෂාන් අබේසිංහටය.

“රොෂාන් සර් ඇතුළු හිරාන්, දර්ශන, රුවන්, චමිල කියන රාගම ක්‍රීඩා සමාජයේ මහත්වරු මට ගොඩක් උදවු කරනවා. මගෙ කෑම බීම ඉඳුම් හිටුම් ගැන පවා හොයලා බලනවා. අන්තර් සමාජ තරග නැති නිසා මේ දවස්වල නම් මම එහෙ නැවතිලා නැහැ. ගෙදර ඉඳලා තමයි ෆ්‍රැක්ටිස් එන්නේ.”

කසුන් කෑගල්ලේ නිවෙසේ සිට කොළඹට පුහුණුවීම් සඳහා එන දිනවල නැඟිටින්නේ උදේ තුනයි තිහටය. අලුයම හතරයි පහළොවට පිටත්වන බසයට ගොඩවන ඔහු උදෑසන අටහමාර පමණ වෙද්දී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ පුහුණුවීම් ආරම්භ කරයි. දහවල් ‍දොළහ පමණ වන තෙක් පුහුණුවීම්වල නිරත වන ඔහු යළි නිවෙස බලා පිටත් වෙයි.

මිලින්ද සිරිවර්ධනව කසුන්ට දැන හඳුනාගැනීමට ලැබෙන්නේ රාගම ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් කරන අතරතුරය. මිලින්දට බැට් කරන්නට කසුන් එහිදී බොහෝ වාර ගණනක් බෝල් කළේය. අමිල අපොන්සුද රාගම ක්‍රීඩා සමාජයේ කසුන්ගේ සමකාලීනයෙකි. මිලින්ද හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස කසුන්ට ඔහුගේ සම්බන්ධී කරණයෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කිරීම සඳහා අවස්ථාව ලැබෙයි. ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායකගේ ඇසට කසුන්ව හසුවන්නේ එහිදීය. ඒ මීට මාස එකහමාරකට පමණ ඉහතදීය. “චම්පක සර්ව හමුවුණු එකත් එතුමාගෙන් පුහුණුවන්න ලැබෙන එකත් මගේ විශාල භාග්‍යයක්” කසුන් පවසයි. ලසිත් මාලිංගව සොයා ගත්තේ චම්පකය. මාලිංග ක්‍රිකට් වීරයෙක් කිරීම පිටුපස සිටි චරිතයද චම්පකය. දැන් චම්පක ඉදිරිපිටට තවත් “පුංචි මාලිංග” කෙනෙක් පැමිණ තිබේ.

“මිලින්ද අයියා වගේම කණ්ඩායමේ අනෙක් හැමෝම මට උදවු කරනවා. ඒකට මං එක උදාහරණයක් කියන්නම්. දවසක් ෆ්‍රැක්ටිස් කරද්දි මගෙ සපත්තුවක් කැඩුණා. ආයෙත් පාවිච්චි කරන්න බැරි විදියටම තමයි කැඩුණේ. මම මේක තිසර (තිසර පෙරේරා) අයියට කිව්වා. තිසර අයියා ඒ වෙලාවෙම එයා දාගෙන හිටපු සපත්තු දෙක ගලෝල මට දුන්න මල්ලි මේ දෙක පාවිච්චි කරපන් කියලා. අනිත් හැමෝමත් ඒ වගේ තමයි. ඒ වගේම මගේ අම්මා තාත්තා සහෝදරයෝ, ඥාතීන්, යාළුවෝ මට ගොඩක් උදවු කරනවා. ඒ අයගේ උදව්වෙන් තමයි අද මම මෙතැන ඉන්නේ. මොකද ඒ අයගෙ උදවු නැත්නම් මට තියෙන ආර්ථික දුෂ්කරතා නිසා ක්‍රිකට් අතහැරලා ගොඩක් කල්. මගේ තාත්තා පුංචි ව්‍යාපාරයක් කරන්නෙ. අම්මා රැකියාවක් කරන්නෙ නැහැ. කාලයක් තාත්තට ව්‍යාපාරය කරගන්න බැරිව ලොකු අයියා තමයි අපි හැමෝ ගැනම බැලුවේ. අනෙක් අපි හැමෝම එතකොට ඉගෙනගන්නවා. මොන තරම් ආර්ථික ප්‍රශ්න තිබුණත් තාත්ත හැමදාම කියන්නෙ පුතේ උඹ ක්‍රිකට්වලින් ඉහළටම යන්න ඕන. මට පුළුවන් හැමදේම මම කරනවා කියලා.”

ඕස්ට්‍රේලියාව සමඟ පැවැති විස්සයි – විස්ස දෙවැනි තරගයේ පුහුණුවීම් අතරතුර කසුන්ට මාලිංගව මුණගැසී තිබේ. “මම බෝල් කරන්නෙත් අයියා වගේමයි. මම හදාගන්න ඕන අඩුපාඩු මොනවද?” යනුවෙන් කසුන් මාලිංගගෙන් විමසූ විට ඔහු සුදුසුම පිළිතුරක් ලබාදී ඇත. “මල්ලි හරි තැනට උඹ බෝලෙ දානව නම් ඇක්ෂන් එකේ වෙනසක් කරන්න ඕන නෑ. මමත් මගෙ ඇක්ෂන් එක වෙනස් කළේ නෑ. හොඳට ෆ්‍රැක්ටිස් කරපන්” මාලිංග එසේ පවසා තිබේ.”

මීට මාස කිහිපයකට පෙර අවසන්වරට පරීක්‍ෂා කළ අවස්ථාවේ කසුන්ගේ පන්දු යැවීමේ වේගය පැයට කි.මී. 130ත් 135ත් අතරය. එය මාලිංගගේ වේගයට වඩා තරමක් අඩුය. කෙසේ නමුත් මේ තරුණයාගේ දක්‍ෂතා තවදුරටත් මතුකරගත හැකි නම් ඔහු පැයට කි.මී. 130ක වේගයෙන් පතිත කරන පන්දුව ඔහුටත්, රටටත් ජයග්‍රහණ රැසක් ලබාදෙනු ඇති බව නිසැකය.

– හසිත කුරුප්පු –

Comments

comments

SHARE