ශ්‍රී ලංකා රග්බි සැලසුම් කරන්නට ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්

133
0

මෙරට රගර් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් ක්‍රමවත්ව සකස් කිරිමේ අරමුණ ඇතිව වසර දෙකක කාලයකට පසුව ප්‍රධාන විධායක නිලධාරියකු පත් කිරීමට ශ්‍රී ලංකා රගර් සංගමය තීරණය කොට තිබේ. ඒ අනුව හිටපු සභාපතිවරයකු වන ප්‍රියන්ත ඒකනායක මහතා එම සංගමයේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට වැඩ බාරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා ජාතික රගර් පිලේ හිටපු නායකයකු වන ඒකනායක මහතා රගර් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත් කිරීමෙන් මෙරට රගර් ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධියට ඉවහල් වනු ඇතැයි රගර් සංගමයේ ලේකම් නසීම් මොහොමඩ් මහතාගේ අදහස වී තිබේ. ජාතික තලයේ ක්‍රීඩකයකු ලෙසත්, දීර්ඝ කාලයක් මෙරට අන්තර් සමාජ තරග බිමේ කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩකයකු ලෙසත් ඒකනායක මහතා සතු අත්දැකීම් මෙරට රගර් ක්‍රීඩාවේ අනාගතය දීප්තිමත් කිරීමට විශාල දායකත්වයක් සපයනු ඇතැයි මොහොමඩ් මහතාගේ අපේක්ෂාව වී ඇත.

ඒකනායක මහතා ශ්‍රී ලංකා රගර් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වන්නේ මීට වසර දෙකකට පෙර එම තනතුර හැරදා ගිය එංගලන්තයේ ඇලස්ටෙයාර් සවරිමුත්තු මහතාගෙන් පසුවය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රගර් සංගමයේ වැඩි කාර්ය භාරයක් සිදුකරනු ලැබුවේ එහි විධායක අධ්‍යක්ෂ රොහාන් ගුණරත්න මහතා විසිනි.

කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලෙන් රගර් පිටියට සේන්දු වූ ඒකනායක මහතා අනතුරුව සී.එච්, සී.ආර්. සහ මහනුවර ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් මෙරට අන්තර් සමාජ රගර් තරග බිමේ විශිෂ්ට දස්කම් පෑවේය.

Comments

comments

SHARE