කණ – කණපිට ගැසූ ඉනිම

1770
0

කැලිප්සෝ ක්‍රිකට් නමින් නව  තාලයකට ක්‍රිකට් රසිකයින් කුල්මත් කරන බටහිර ඉන්දීය කොදෙව්වන් අතීතයේ ලොවම දණ ගැස්සූ යුගයක් විය.මේ යුග දෙක අතර සංක්‍රාන්ති සමය තුල කොදෙව් ක්‍රිකට් වෙනුවෙන් හුස්ම දුන් සටන්කාමී පිතිකරුවෙකු තම සමුගැනීම ප්‍රකාශ කලේ නොබෝදාය. ගාෆීල්ඩ් සෝබර්ස් , ක්ලයිව් ලොයිඩ් , විවියන් රිචර්ඩ්ස් , ඩෙස්මන් හේන්ස් වැනි අතීත කොදෙව් තේජාන්විත පිතිකරුවන් මෙන්ම බ්‍රයන් ලාරා , ක්‍රිස් ගේල් , චන්ද්‍රපෝල් වැනි වත්මන් පරපුර ද  සංසන්දනය කරන කල රාම්නරේෂ් සර්වාන් වෙනුවෙන් වෙන්වන තැන විවාදිතය.නමුත් මේ හැඩකාර පිතිකරුවා අතීතයේ දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේමීන්ගේ හද ගැස්ම වැඩි කල හැටිනම් අපූරුය.

එය 2003 ලෝක කුසලානයයි. නවසීලන්තය , බංගලාදේශය සහ කැනඩාව පහසුවෙන් පරදා තරගාවලියේ ඉදිරියට යමින් සිටි ශ්‍රී ලංකාව කෙන්යාව හමුවේ අනපේක්ෂිත පරාජයකට මුහුණදී සිටියේ කොදෙව් තරගයට පෙරය. බින්දුවට වැටුන ආත්ම විශ්වාසය යලි ගොඩගන්නට කොදෙව් තරගය ජය ගත යුතුම බව පැහැදිලිය. කේප් ටවුන් හි කොදෙව් තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 228 කට සීමා කිරීමට කොදෙව්වන් සමත් වන අතර ජයසූරිය පමණක් අවදිවී ලකුණු 66 ක්  ලබන්නට සමත් වනවා. ශ්‍රී ලංකා ඉනිමට කිසිදු හයේ  පහරක් එක් නොවන අතර කෙන්යාව සමග පරාජය තවමත් වේදනා දෙන බව පසක් වන්නේ කොදෙව් පන්දු යවන්නන් අතර නම් දැරූ පන්දු යවන්නෙකු වූවානම්  නම් ඒ කාල් හූපර් පමණක් වූ නිසාය.

ආරම්භක පිතිකරු වේවල් හයින්ඩ්ස් සහ බ්‍රයන් ලාරා වේලාසනින් දවා ගන්නට චමින්ද වාස් සමත් වුනි. ක්‍රිස් ගේල් අන්තයක් රැකගෙන සිටි අතර පිටියට එක් වූයේ සර්වාන්ය. ඒ වනවිටත් තරගාවලියේ කොදෙව් විශ්වාසම පිතිකරුවා ඔහුය. නවසීලන්තයට එරෙහිව අර්ධ ශතකයක් ලබා සිටි සර්වාන් දකුණු අප්‍රිකාවට සහ කැනඩාවට එරෙහිව ජයග්‍රහණය තෙක් කඩුල්ල රැක ගත්තේ සැහැල්ලුවෙන් ලකුණු අතර සිටිමිනි. ක්‍රිස් ගේල් සමග සීරුවට සර්වාන් ඉනිම ගොඩනගන්නට විය. ලකුණු සොයන්නට ලොකු හදිස්සියක් අවශ්‍ය නොවුයේ ඉලක්කය එතරම් දිගු නොවූ බැවිනි.

ලකුණු 62 කට කඩුලු 2 බිදවැටුණු මොහොතේ පන්දුව අත තිබුනේ දිල්හාර ප්‍රනාන්දු ලගය. දිල්හාරගේ වේගවත් බවුන්සර් පන්දුව ඒ වන විටත් සැහැල්ලුවෙන් ලකුණු අතර සිටි සර්වාන්ගේ හෙල්මටයේ වැදුනි. අනපේක්ෂිත ප්‍රහාරයෙන් දෙදරුම් කෑ සර්වාන් ක්ෂණිකව බිම ඇද වැටුණි. වුනේ කුමක්දැයි වටහා ගන්නට පවා කල් ගත් සර්වාන් ඉක්මනින්ම ප්‍රතිකාර සදහා රැගෙන ගියේය. දිල්හාරගේ පන්දුවේ තරම කොතරම්ද යත් සර්වාන්ගේ දකුණු කණ ඒ වනවිටත් හිරි වැටී තිබුණි.

කොදෙව් පිතිකරු ලැයිස්තුව තුල සිටි විශ්වාසම පිතිකරුවා ක්‍රීඩාගරයේ ගාල් කල පසු යලි තරගය  තමන්ගේ පැත්තට ගන්නට වාස් , මුරලි වැනි පදම් වූ පන්දු යවන්නන්ට අපහසු නොවුනි. තරගයේ 43 වන පන්දුවාරයේ එතෙක් කොදෙව් පිතිකරු බලාපොරොත්තුවේ අවසන් පුරුක වූ චන්ද්‍රපෝල් දවා ගන්නට අරවින්ද සමත් වන්නේ තරගය තවත් අපේ පැත්තට පහසු කරමිනි. දැන් ලකුණු පුවරුව කඩුලු 7 ට ලකුණු 169 ක් විය. එතෙක් ප්‍රතිකාර ලබමින් සිටි සර්වාන් යලි පාආවරණ පලදින්නේ ගතේ සවියට වඩා හිතේ සවිය ඔහු තුල වූ බැවිනි. පසුපෙළ පිතිකරුවන් සමග ජයග්‍රහණයට පාර කැපීම අසීරු උවත් සර්වාන් ටිකෙන් ටික හිස ඔසවන්නට විය. අවසන් පන්දු 24 ට ලකුණු 42 ක් නියමවූ විට අත්දැකීම් අතින් මෝරා සිටි ජයසූරිය හමුවේ හයේ පහරක් සහ හතරේ පහරක් ලබන සර්වාන් පන්දු 18 ට ලකුණු 29 ක් දක්වා ඉලක්කය අඩු කළේය. ජයසූරිය ඊලග ඕවරයට  කැදවන්නේ අරවින්දය. අරවින්ද හමුවේ පොළවට සමාන්තරව හයේ පහරක් යලි ගසන සර්වාන් පන්දු 12 කදී ලකුණු 16 දක්වා පරතරය අඩු කළේය.

ඒ වන විටත් 8 වන කඩුල්ල ද දවාගනිමින් එහි වාසිය උපරිමයෙන් නෙලූ ශ්‍රී ලංකා කණ්ඩායම 49 ඕවරයේ වගකීම භාර කලේ මුරලිටය. තරගයේ වැදගත්ම ඕවරය එය බව වටහා ගන්නට නායක  ජයසූරියට සහ සෙල්ලමට තෙම්පරාදු වූ අරවින්දට  අපහසු නොවුනි. මුරලි තම වගකීම අකුරටම ඉටු කලේ එතෙක් ප්‍රචණ්ඩ වූ සර්වාන් මෙල්ල කරමින් එම ඕවරයට ලකුණු 2ක් පමණක් ලබා දෙමිනි. වාස් , මුරලි සහ අරවින්දද ඕවර 10 ම යවා තිබු බැවින් අවසන් ඕවරයට පන්දු යවන්නා කව්දැයි ප්‍රෙහෙලිකාවක් විය. ජයග්‍රහණයට කොදෙව්වන්ට අවැසි ලකුණු 14 ක් පමණි. සර්වාන්ව බිම ඇද දැමු දිල්හාර පසෙක සිටිද්දී අත්දැකීම් අඩු පුලස්ති ගුණරත්නට ඕවරය භාර කලේ සැම පුදුම කරමිනි. නමුත් පැවරු රාජකාරිය අකුරට කල පුලස්ති ලකුණු 6 ක තියුණු ජයක් වෙනුවෙන් කණ්ඩායම කැදවා යන්නේ එතෙක් සටන්කාමී වූ සර්වාන් අනෙක් පස හුදකලා කරමිනි.

ලකුණු 10 ක් ලබා සිටි විට ක්‍රීඩාගාරයට ගිය සර්වාන් තරගය නිම වනවිට නොදැවී ලකුණු 47 ක් ලබා සිටියේ පන්දු 44 කට මුහුණ දෙමිනි. ඒ අතර හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ලබා ජය පෙනෙන මානයට කණ්ඩායම රැගෙන ගිය අතර පසු පෙළ පිතිකරුවන්ගෙන් යම් සහනයක් ලැබුනේනම් තරගය කණපිට පෙරළෙනවා සිකුරුය.එපමණක් නොව  දිල්හාරගේ පන්දුව නොවන්නට සර්වාන් පහසුවෙන් තරගය හමාර කරන බවනම් නියතය. රාම්නරේෂ් සර්වාන් නම් හැඩකාර පිතිකරුවා ශ්‍රී ලංකාවට එරෙහිව ලද ඉහළම එක් දින ඉනිම එය නොවූ නමුත් ලංකික ප්‍රේක්ෂකින්ගේ හද ගැස්ම වැඩි කල ඉනිම එය බවටනම් අවිවාදිතය.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE