42වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල 29දා සිට යාපනයේ දී

154
0

ජාතික සමඟිය හා සංහිඳියාව සංකේතවත් කරමින් 42වැනි ජාතික ‍මහා ක්‍රීඩා උළෙල මේ මස 29දා සිට යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වසර 1967දී ක්‍රීඩා අමාත්‍යාංශය පිහිටුවීමෙන් අනතුරුව රාජ්‍ය මට්ටමින් යාපනයේ පැවැත්වන පළමු ජාතික ක්‍රීඩා උළෙල මෙය වීම විශේෂ සිදුවීමකි. එමෙන්ම මෙවර ක්‍රීඩා උළෙලට නව ඉසව් 8ක් එක්වීමද තවත් විශේෂත්වයකි. ඒ අනුව මෙවර ක්‍රීඩා උළෙලේ සම්පූර්ණ ඉසව් ගණන 33කි.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී ඇමැතිවරයා කියා සිටියේ ජාතික සමඟිය හා සංහිඳියාව සංක්තවත් කරමින් පුළුල් පරමාර්ථයකින් හා සමාජ දැක්මකින් යුතුව මෙවර ක්‍රීඩා උළෙල යාපනයේ දී පැවැත්වීමට කටයුතු කළ බවයි.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ජය සංකේත ප්‍රදානෝත්සවය 2දා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා උළෙල පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

විද්‍යුත් කාල ගණන යන්ත්‍ර අක්‍රීය වීමෙන් පසුගිය දිනවල පැවැති ජාතික මට්ටමේ තරගාවලියන්ට ඒවා යොදා ගැනීමට නොහැකිවුවද මෙවර ක්‍රීඩා උළෙලට විද්‍යුත් කාල ගණන යන්ත්‍ර යොදා ගැනීමට කටයුතු කරන බවත්, එම යන්ත්‍ර අලුත් වැඩියා කිරීමේ කටයුතු මේ වනවිටත් මොරටුව විශ්වවිද්‍යාලයේ සිදු කරමින් පවතින බවත් ඇමැතිවරයා පැවැසීය‍.

මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර මහත්වරු එක්ව සිටියහ.

මෙවර ක්‍රීඩා උළෙලේ තනි තරග ඉසව් ජයග්‍රහණයක් සඳහා රු.7500ක මුදල් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයට රු.5000ක් හා තෙවැනි ස්ථානයට රු.3000ක් පිරිනැමේ. එමෙන්ම කණ්ඩායම් තරගවලදී ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායමේ එක් ක්‍රීඩකයකුට රු.3000 බැගින්ද, දෙවැනි ස්ථානය දිනාගත් කණ්ඩායමේ ක්‍රීඩකයකුට රු.2000 බැගින්ද, තෙවැනි ස්ථානය සඳහා එක් ක්‍රීඩකයකුට රු.1000 බැගින්ද පිරිනැ‍මීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇති අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රු.10000 බැගින් මුදල් ත්‍යාග හිමිවේ.

මලල ක්‍රීඩා ඉසව්වන්ට අමතරව පිරිමි/කාන්තා කඹ ඇදීම, බාස්කට්බෝල්, වෙරළ කබඩි හා පාපන්දු තරග ද යාපනයේදී පැවැත්වේ.

මලල ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800, වෙරළ කබඩි 108ක්, බාස්කට්බෝල් 216ක්, කඹ ඇදීම 216ක් හා පාපන්දු සඳහා 360ක් යාපනයේ පැවැත්වෙන තරග ඉසව් සඳහා එක්වන අතර නිලධාරීන් 650ක් හා විනිසුරුවන් 250ක්ද එක්වීමට නියමිතය. තරගාවලියට එක්වන ක්‍රීඩිකාවන්ට වෙම්බඩි කාන්තා විදුහල, කුකුවිල් මහ විදුහල හා ස්ටැන්ලි විදුහලත්, ක්‍රීඩකයන්ට යාපනය මහ විදුහල සහ යාපනය හින්දු විදුහලත් නේවාසික පහසුකම් සඳහා වෙන්කර තිබේ. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාව පැවැත්වෙන අතර එම අවස්ථාවට හා සමාප්ත උළෙලට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, නියෝජ්‍ය ඇමැති එච්.එම්.එම්.හාරිස්, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර මහත්වරුන් සමගින් පළාත් ක්‍රීඩා ඇමැතිවරුන් ද එක්වීමට නියමිතය.

ක්‍රීඩා උළෙලේ ඉසව් 22ක් නිමාවට පත්වනවිට ක්‍රීඩා උළෙලේ පෙරමුණ ගැනීමට බස්නාහිර පළාත සමත්ව ඇත්තේ රන් පදක්කම් 56ක්, රිදී පදක්කම් 44ක් හා ලෝකඩ පදක්කම් 36ක් දිනා ගනිමිනි. මධ්‍යම පළාත් රන් 23ක්, රිදී 23ක් හා ලෝකඩ 22ක් දිනා දෙවැනි ස්ථානයේ පසුවන අතර රන් පදක්කම් 15 බැගින් දිනා ගැනීමට වයඹ (රිදී 25, ලෝකඩ 25), දකුණු (රිදී 12, ලෝකඩ 28) හා උතුරු මැද (රිදී 12, ලෝකඩ 37) පළාත් සමත්ව තිබේ. සබරගමුව රන් 8ක්, නැඟෙනහිර රන් 4ක් දිනා තිබෙන අතර උතුරු පළාතට හිමිව ඇත්තේ එක් රන් පදක්කමක් පමණි.

Comments

comments

SHARE