කොරියා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම ධනුෂ්කට

224
0

ආසියානු සත්සාමාජික රගර් තරගමාලාවේ දෙවැනි අදියරේ තරගාවලියට ධනුෂ්ක රන්ජන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ නම් කරනු ලැබීය. මේ මස 24 සහ 25 දෙදින දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත මේ තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකොට තිබේ.

පසුගියදා හොංකොං හී පැවැති පළමු අදියරේ තරගාවලිය නියෝජනය කළ ජේසන් දිසානායක, කෙවින් ඩික්සන් සහ දිනූෂ චතුරංග ආබාධ හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි නොවන අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා රගර් පිලේ හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සමග රිචඩ් ධර්මපාල සහ කංචන රාමනායක තරගාවලියට එක්වී සිටිති.

පළමු අදියරේ තරගාවලියේ දී ශ්‍රී ලංකා රගර් තරග ඉතිහාසයේ පළමු වරට ආසියානු සත් සාමාජික රගර් තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයට කණ්ඩායම රැගෙන ගිය ධනුෂ්ක රන්ජන්ගේ නායකත්වයෙන් මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිලට අවුරුදු 20න් පහළ ආසියානු යොවුන් රගර් කිරුළ දිනාගත් කණ්ඩායමේ නායක කෙවින් ඩික්සන්ගේ දායකත්වය අහිමිවී ඇත්තේ දණහිසේ ආබාධයක් හේතුවෙනි. මීට අමතරව එම තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් පෑ ජේසන් දිසානායක පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති බටහිර ආසියානු රගර් තරගාවලිය අතරතුර ප්‍රතිවාදී ක්‍රීඩකයකුගේ සිරුරේ ගැටීමෙන් ඇතිවූ කම්පනය මත ක්‍රීඩාවෙන් විවේක ගෙන සිටින අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනූෂ චතුරංග පෞද්ගලික හේතුවක් මත තරගාවලියට එක්නොවන බව වාර්තා විය.

කෙසේවෙතත් ඉහත කී ක්‍රීඩක ත්‍රිත්වයේ අඩුව පුරවාලමින් දකුණු කොරියානු තරගාවලියට නම් කළ කණ්ඩායමට මෙරට සත් සාමාජික රගර් පිලේ ප්‍රබලතම ක්‍රීඩක ශ්‍රීනාත් සුරියබණ්ඩාර එක්වීම කැපී පෙනේ. ඔහු සමග මෑතකදී විශිෂ්ට දස්කම් අතරට එක්වූ කංචන රාමනායක සහ රිචඩ් ධර්මපාල කණ්ඩායම ශක්තිමත් කිරීමට එක්වී සිටිති.

ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායමේ නිත්‍ය නායක සුදර්ශන මුතුතන්ත්‍රීගේ අතෙහි ඇතිවූ ආබාධය තවමත් සුව අතට හැරී නොමැති බැවින් දකුණු කොරියානු සංචාරයට ඔහුගේ දායකත්වය ද අහිමිවී තිබේ.

කණ්ඩායම් අටක් තරග වදින දකුණු කොරියානු සත් සාමාජික රගර් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සමග චීනය, සිංගප්පූරුව සහ මැලේසියාව ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර ‘ඒ’ කාණ්ඩයෙන් හොංකොං, දකුණු කොරියාව, ජපානය සහ චීන තායිපේ තරග වදිති.

ආසියානු සත් සාමාජික පළමු අදියරේ තරගාවලියේ අනුශූරයන් වූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 10ක් ලබා සිටින අතර ශූරයන් වූ හොංකොං පිල ප්‍රසාද ලකුණු 12ක් ලබා පෙරමුණේ පසුවෙයි. අදියර තුනකින් සමන්විත මෙවර තරගමාලාවේ සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ශූරතාව හිමිවෙයි. මේ තරගමාලාවේ අවසන් අදියර ලබන ඔක්තෝබර් මස 15 සහ 16 දෙදින කොළඹ දී පැවැත්වීමට නියමිතය.

දකුණු කොරියානු සත් සාමාජික රගර් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද අළුයම දිවයිනෙන් පිටත්වීමට නියමිතව තිබිණි. මැට් ටර්නර්ගේ පුහුණුකාරීත්වයෙන් සහ රජීව් පෙරේරාගේ සහය පුහුණුකාරීත්වයෙන් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිලේ කළමනාකරු ලෙස රොහාන් චින්තක කටයුතු කරයි.

ශ්‍රී ලංකා සත් සාමාජික රගර් පිල – ධනුෂ්ක රන්ජන් (නායක), දනූෂ දයාන්, රිචඩ් ධර්මපාල, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, ඕමල්ක ගුණරත්න, කංචන රාමනායක, දුලාජ් පෙරේරා, සාලිය හඳපාන්ගොඩ, තරින්ද රත්වත්ත, සෂාන් මොහොමඩ්, හිරන්ත පෙරේරා.

Comments

comments

SHARE