ආසියානු වෙරල ක්‍රීඩා උලෙල වියට්නාමයේදී ඇරඹේ

279
0

පස්වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල වියට්නාමයේ වෙරළබඩ නගරයක්වූ ඩැනෑන්ග් හිදී අද ආරම්භ වෙයි. ඔක්තෝබර් 3වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට රටවල් 45කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක් පමණ සහභාගීවන අතර ක්‍රීඩා 22ක ඉසව් 172ක් ඇතුළත් වේ.

නිළ සමාරම්භක උළෙල පැවැත්වීමට පෙර ඊයේ පැවැති මීටර් 5 මුහුදු පිහිනුම් තරගයට ඉදිරිපත්වූ සුනේත්‍රා විජේසිංහ හා ශෂිනි නවෝද්‍යා තරගය නිමා කිරීමට සමත් නොවූහ. පිරිමි කබඩි කණ්ඩායම අද මැලේසියාව සමග තරග වදින අතර හෙට කොරියාව සමග සටනට පිවිසේ. කාන්තා කබඩි පිල හෙට තායිලන්තය සමග තරගයෙන් වෙරළ ක්‍රීඩා උළෙලට අවතීර්ණ වේ.

මේ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව වෙනුවෙන් බීච් කබඩි පිරිමි කාන්තා කණ්ඩායම් දෙකට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 15ක්, බීච් වොලිබෝල් කණ්ඩායම්වලට 12ක්, බීච් හෑන්ඩ්බෝල් සඳහා 12ක්, මුහුදු පිහිනුම් ඉසව්වලට 5ක්, සැම්බෝ හා ජුජිට්සූ යන ක්‍රීඩාවන් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8ක් සහභාගී වෙති.

ස්වාභාවික වෙරළ තීරයක් ආශ්‍රිත කොට පැවැත්වෙන ආසියාවේ ඉහළ ජනප්‍රියත්වයක් ඇති වෙරළ ක්‍රීඩා උළෙල මුලින්ම 2008දී ඉන්දුනීසියාවේ බාලි නගරය ආශ්‍රිතව පැවැති අතර, අනතුරුව 2010දී ඕමාන්හී මස්කට්, 2012දී චීනයේ හයියෑන්ග් හා 2014දී තායිලන්තයේ පූකෙට් දිවයිනේ පැවැත්වූ අතර 2018දී ඉන්දියාවේ ගෝවේ නගරයේදී පැවැත්වීමට තීරණයවී ඇත.

ආසියානු ඔලිම්පික් කමිටුව සංවිධාන කරන වෙරළ ක්‍රීඩා උළෙලේ මෙතෙක් වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් තායිලන්තය දිනා ඇති අතර සංඛ්‍යාව 94කි. චීනය රන් පදක්කම් 48ක්, ඉන්දුනීසියාව රන් පදක්කම් 39ක්, දකුණු කොරියාව රන් පදක්කම් 21ක්, ජපානය රන් පදක්කම් 13ක් හා ඉරානය රන් පදක්කම් 11ක් දිනා ඉදිරියෙන් සිටී. සත්කාරක වියට්නාමය කසකස්තානය හා ඉන්දියාව රන් පදක්කම් 10 බැගින් දිනා සමතැන් ගෙන ඇත. ශ්‍රී ලංකාව වෙරළ ක්‍රීඩා ඉතිහාසයේ දිනා ඇත්තේ ලෝකඩ පදක්කම් 4ක් පමණි.

එම පදක්කම් හතර 2012දී හා 2014දී පිරිමි හා කාන්තා කබඩි කණ්ඩායම් දිනා ගැනීමට සමත් විය. මෙවර ක්‍රීඩා උළෙලේදී කබඩි ක්‍රීඩාවට අමතරව බීච් වොලිබෝල් ක්‍රීඩාවෙන්ද ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇතැයි විචාරක මතයවී තිබේ.

Comments

comments

SHARE