මුරලි කුසලානය මහින්දයට

2059
0

‘ගුණ ජය සතුට’ පදනම සංවිධානය කරන ‘මුරලි කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී කොළඹ නාලන්දා විද්‍යාලය කඩුලු 8 කින් පරදවා මුරලි සාම කුසලානය දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය අද (25 වැනිදා) සමත්විය. මෙම තරගය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල මහින්ද විද්‍යාලය ඕවර 16.4 කදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ රවිඳු වැලිහිඳ පන්දු 40 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 49 ක් රැස්කළ අතර තෙවැනි කඩුල්ල සදහා නිපුන් මාලිංග සමග එක්ව නොබිදුණු ලකුණු 81 ක සම්බන්ධතාවයක්ද පැවැත්වීය. නිපුන් මාලිංග පන්දු 32 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කළේය.

මූලික වටයේදී පැවැති තරග තුනම ජයගනිමින් ප්‍රසාද ලකුණු හයක් ලබාගත් ගාල්ල මහින්ද විද්‍යාලය ‘ඩී’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් අතර අවසන් පූර්ව තරගයේදී සීනීගම ඒකාබද්ධ පාසල් කණ්ඩායම පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නාලන්දා විද්‍යාල පිලට ඕවර 20 අවසානයේදී කඩුලු නවයක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 117 ක් පමණී.

පිතිකරුවන්හට සාර්ථකවීමට අවස්ථාවක් නොදුන් රෙශාන් කාවින්ද ඕවර හතරක් යවමින් ලකුණු 17 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

මූලික වටයේදී පැවැති තරග තුනම ජයගනිමින් ප්‍රසාද ලකුණු හයක් ලබාගත් කොළඹ නාලන්දා විද්‍යාලය ‘සී’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් අතර අවසන් පූර්ව තරගයේදී මරදාන ශා. ජෝසප් විද්‍යාලය පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

නාලන්දා විද්‍යාලය – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 117
(සචින්ත මදුමාල් 22, දසුන් සෙනෙවිරත්න 28, කසුන් සඳරුවන් 33, රෙශාන් කාවින්ද 17/3, කේ. කවීන් 27/2)

මහින්ද විද්‍යාලය – ඕවර 16.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 120
(රෙශාන් කාවින්ද 28, රවිඳු වැලිහිඳ නොදැවී 49, නිපුන් මාලිංග නොදැවී 30, ලක්ෂිත මානසිංහ 19/2)

Comments

comments

SHARE