මුරලි කාන්තා කුසලානය නිට්ටඹුවට

131
0

‘ගුණ ජය සතුට’ පදනම සංවිධානය කරන වයස 23 න් පහළ ‘මුරලි කුසලාන’ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී මාතලේ කාන්තා කණ්ඩායම කඩුලු 6 කින් පරදවා පිට පිට දෙවන වරටත් මුරලි සාම කුසලානය දිනාගැනීමට නිට්ටඹුව කාන්තා කණ්ඩායම අද (25 වැනිදා) සමත්විය. මෙම තරගය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මූලික වටයේදී පැවැති තරග තුනම ජයගනිමින් අපරාජිතව සිටි නිට්ටඹුව කාන්තා කණ්ඩායම අවසන් තරගයේදීද තම අපරාජිත බව රැක ගැනීමට සමත්වූවාය. ලකුණු 84 ක ඉලක්කයක් හඹාගිය නිට්ටඹුව කාන්තා පිල ඕවර 15.3 කදී කඩුලු හතරක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත් වූයේය.

මාතලේ කණ්ඩායමේ පන්දු යවන්නියන් නිට්ටඹුව කණ්ඩායමේ පිතිකාරියන්ට තරජනයක් එල්ල කරමින් පළමු ඕවරයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත්තද පබසරා රණබාහු සහ මලීෂා ශසිනී ඉනිම ගොඩනගමින් ජයග්‍රහණය සදහා තම කණ්ඩායම රැගෙන යෑමට සමත්වූවෝය.

මුල්පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් මාතලේ කාන්තා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට නිට්ටඹුව කාන්තා පිලේ පන්දු යවන්නියෝ සමත්වූහ. දක්ෂ පන්දුයැවීමක නිරතවූ ශානුකා තරුෂී ඕවර හතරක් යවමින් එක් නිළකුණු ඕවරයක් සමගින් ලකුණු 13 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.

මූලික වටයේදී පැවැති තරග තුනම ජයගනිමින් අපරාජිතව සිටි මාතලේ කාන්තා කණ්ඩායමට අවසන් තරගයේදී සිය අපරාජිත බව රැකගැනීමට අපොහොසත් විය.

මාතලේ කාන්තා කණ්ඩායම – ඕවර 17.1 කදී සියලුදෙනා දැවී ලකුණු 84
(නිලුකා අමරසේන 20, ශානුකා තරුෂී 13/2, ගයනි කාංචනා 29/2)

නිට්ටඹුව කාන්තා කණ්ඩායම – ඕවර 15.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 85
(පබසරා රණබාහුූ 26, රූබී රජින්තා 17/2)

Comments

comments

SHARE