ක්‍රිකට් නමේ හම ගිය කාර් කතා දෙකක්

872
0

නුවන් කුලසේකර මෙරට ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කරන දක්‍ෂ වේග පන්දු යවන්නෙකි. ඒ වගේම අවශ්‍ය මොහොතක වේගයෙන් ලකුණු රැස්‌ කිරීමට හැකි පිතිකරුවෙකි. බොහෝ ක්‍රිකට්‌ රසිකයෝ ඔහු හඳුන්වන්නේ “කුලයා” යන ආදරණීය නාමයෙනි. සෑම මොහොතකම පාහේ සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින කුලයා නොහොත් නුවන් කුලසේකරට බොහෝ ක්‍රිකට්‌ රසිකයෝ හදවතින්ම ආදරය කරන්නේ ඔහුගේ දක්‍ෂතා සහ නිහතමානී බව නිසාවෙනි.

පසුගිය දහනම වැනිදා මෙම ක්‍රිකට්‌ ක්‍රීඩකයා කිසිසේත් නොසිතූ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පෑවේය. ඒ ඔහු විසින් පදවාගෙන ගිය මෝටර් රථයකට තරුණයකු යටවී මියයැම නිසාවෙනි. එම අවාසනාවන්ත සිදුවීම සිදුවී දින කිහිපයක්‌ ගත වන්නට මත්තෙන් තවත් ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වන රමිත රඹුක්‌වැල්ල අතින් රිය අනතුරක්‌ සිදුවිය. ඒ ඔහු බීමතින් තම මෝටර් රථය ධාවනය කළ නිසාවෙනි. වාසනාවකට මෙන් එම රිය අනතුරෙන් කිසිවෙකුටවත් හානි සිදු වූයේ නැත. පහතින් පෙළ ගැසෙන්නේ එම රිය අනතුරු දෙක පිළිබඳ සම්පූර්ණ විස්‌තරයකි.

දිනේෂ් අරවින්ද විසිඅට හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහුට එක්‌ සහෝදරියක්‌ සිටින අතර දෙමාපියන් සමඟ නිට්‌ටඹුව මාඉඹුල ප්‍රදේශයේ පදිංචි වී සිටියේය. රැකියාව වශයෙන් දිනේෂ් කුඩා ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගියේය.

පාසල් කාලයේ සිට දිනේෂ් ක්‍රීඩා අංශයෙන් විශේෂිත දක්‍ෂතා දැක්‌වූවේය. වොලිබොල් මෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඔහු සැබෑ දක්‍ෂයකු විය. දිනේෂ් පාසල් ගියේ නුවන් කුලසේකර අධ්‍යාපනය හැදැරූ රන්පොකුණගම මහා විද්‍යාලයටයි. එකම පාසලේ ක්‍රිකට්‌ ක්‍රීඩා කළ නිසා දිනේෂ් නුවන් කුලසේකරව හොඳින් දැන හැඳින සිටියේය. පාසල් ජීවිතයෙන් පසුවද නිවසේ සිටියේ තම නැගණිය පමණි. එදින තම ව්‍යාපාර ස්‌ථානය වසා දැමීමට ඔහු තීරණය කළේය.

දිනේෂ්ට නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යැමේ අවශ්‍යතාවක්‌ තිබුණි. ඒ තම නමට මෝටර් බයිසිකලය හරවා ගැනීම සඳහාය. ව්‍යාපාර ස්‌ථානයත් වසා දැමූ නිසා එදින ඔහු කොළඹ බලා ඒමට සූදානම් විය. පසුදින එළිවෙනකම් නිදිමරා සිටි නිසා තෙහෙට්‌ටු ගතියක්‌ ගතට දැණුනත් ඒවා ගණන් නොගෙන ඔහු තම අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා මෝටර් බයිසිකලයෙන් කොළඹ පැමිණියේය. නාරාහේන්පිටට පැමිණ තම අවශ්‍යතාව ඉටුකරගත් දිනේෂ් යළි නිවස බලා යැමට සූදානම් වූයේ ඉක්‌මණින් නිදා ගැනීම සඳහාය.

නුවන් කුලසේකර නිවසේ සිට නුවර මාර්ගයේ තම මෝටර් රථයෙන් කොළඹ බලා පිටත්වූයේ පෞද්ගලික අවශ්‍යතාවක්‌ සඳහාය. ඒ වන විට ලොකු වාහන තදබදයක්‌ නුවර පාරේ නොතිබුණත් නුවන් තම මෝටර් රථය පැදවූයේ සාමාන්‍ය වේගයකිනි. කඩවත පහුකරමින් නුවන් කුලසේකරගේ මෝටර් රථය ධාවනය විය.

දිනේෂ් නුවර මාර්ගයේ රන්මුතුගල ප්‍රදේශයට ළඟාවූවා පමණි. එක්‌වරම මෝටර් බයිසිකලය මාර්ගය මැදින් පාර වෙන්කරන බැම්මේ ගැටුණි. දිනේෂ්ට මතකයේ රැඳෙන්නට ඇත්තේ එච්චරයි. ඉන්පසු දිනේෂ් උඩින් විසිවී ගොස්‌ මාර්ගයේ අනෙක්‌ පස ගමන් කළ මෝටර් රථයක්‌ අසලට වැටුණේය. නොසිතූ මොහොතක සිදුවූ දෙයින් එම මෝටර් රථය පැදවූ රියෑදුරුට කිසිවක්‌ සිතා ගැනීමට නොහැකි විය. වහාම ඔහු තිරිංග තද කළේය. ඒ වන විටත් එම තරුණයාගේ ඔළුව මෝටර් රථයේ රෝදයකට හසුවී කුඩුවී තිබුණි. එම මෝටර් රථය පැදවූයේ නුවන් කුලසේකරයි.

සිද්ධිය වූ සැනින්ම අවට සිටි පිරිස්‌ එකතු ව දිනේෂ්ව රෝහල් ගත කිරීමට කටයුතු කළේය. නමුත් ඒ වන විටත් ඔහු අවසන් හුස්‌ම පොදද වාතලයට මුසු කර හමාරය. තම ජීවිතයේ වීරයකු වූ නුවන් කුලසේකරගේ මෝටර් රථයට යටවී ජීවිතයෙන් සමුගැනීමට සිදුවේ යෑයි දිනේෂ් සිහිනෙකින්වත් නොසිතන්නට ඇති. දෛවයේ හැටි එහෙමය.

සිද්ධිය වූ ස්‌ථානයට පැමිණි පොලිස්‌ නිලධාරියා වහාම නුවන් කුලසේකරව අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහු වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළේ බීමතින් සිටිනවා දැයි දැන ගැනීම සඳහාය. එහිදී අනාවරණය වූයේ ඔහු බීමතින් නොසිටි බවයි. පසුව නුවන් කුලසේකරව මහර අධිකරණයට ඉදිරිපත් කළ අතර පොලිස්‌ ඇප මත නිදහස්‌ කළේය.

මියගිය දිනේෂ් අරවින්දගේ මෑණියන්ට නුවන් කුලසේකරගේ පියා දුරකථන ඇමතුමක්‌ ලබාදී සිදුවූ සිද්ධිය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කර තිබුණි. එහිදී දිනේෂ්ගේ මව වන චම්මි නිශ්ශංක නුවන්ගේ පියාට පවසා තිබුණේ මෙවන් වදනකි. “මගේ පුතා දැන් මැරිලා ඉවරයිනේ. නුවන්ගේ වරදක්‌ තිබුණත් නැතත් එයාව බේරාගන්න”.

නුවන් කුලසේකර අතින් රිය අනතුර සිදුවී දින කිහිපයක්‌ ගතවීමට මත්තෙන් ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත රඹුක්‌වැල්ල අතින්ද රිය අනතුරක්‌ සිදුවිය. එම අනතුර සිදුවන අවස්‌ථාවේ රමිත රඹුක්‌වැල්ල මෝටර් රථය ධාවනය කර තිබුණේ බීමතින්ය. මීට පෙර එක්‌ වතාවක්‌ පියාසර කරන ගුවන් යානයක දොර ඇරීමට රමිත රඹුක්‌වැල්ල උත්සාහ කළේය. එම අවස්‌ථාවේදී ද ඔහු සිටියේ බීමතින්ය. තවත් වරක්‌ රමිත රඹුක්‌වැල්ල සහ කිත්රුවන් විතාන බත්තරමුල්ල ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවකදී ගැටුමක්‌ ඇති කර ගත්තේය. එම අවස්‌ථාවේ ඔවුන් දෙදෙනා සිටියේ බීමතින්ය. එලෙස රමිත රඹුක්‌වැල්ල දෙස බැලීමේදී බීමතින් පිස්‌සු නැටූ අවස්‌ථා කිහිපයක්‌ තිබේ.

ක්‍රිකට්‌ තරගයක්‌ අවසන් වී රමිත රඹුක්‌වැල්ල කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවකට පැමිණියේ පසුගිය විසිදෙවනිදාය. යහළු යෙහෙළියන් සමඟ හොඳහැටි මත්පැන් තොල ගාමින් රැය පහන්වනතුරු ඔහු විනෝද වූයේය. පාන්දර හයට පමණ රමිත තම නිවෙස බලා යැමට සූදානම් වූයේ තම සුඛෝපභෝගි මෝටර් රථයෙනි.

කොල්ලුපිටියේ සිට ශ්‍රාවස්‌ති මන්දිරය දෙසට ඔහු මෝටර් රථය ධාවනය කළේ අධික වේගයකිනි. බීමතින් සිටි නිසා වේගය පිළිබඳ ඔහුට දැනීමක්‌ද නොතිබෙන්නට ඇත. ශ්‍රාවස්‌ති මන්දිරය පසුකර නිදහස්‌ මාවත පසුකරා පමණි. වේගය පාලනය කර ගැනීමට නොහැකිව රමිත පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය මාර්ගයෙන් පිටතට පැන අසල තිබූ බාලිකා පාසලක තාප්පයක සහ ගසක ගැටුණි.

unnamed-1අනතුරෙන් රමිත රඹුක්‌වැල්ලට කිසිදු අනතුරක්‌ සිදුනොවී තිබුණේ පූරුවේ වාසනාවකටයි. මාර්ගයේ ගමන් ගත් කිසිවකුටද අනතුරක්‌ සිදුවූ නොතිබුණි. මෝටර් රථයට දැඩි අලාභහානි සිදුවී තිබුණි. කුරුඳුවත්ත පොලිසියේ නිලධාරිහු අනතුර සිදුවූ ස්‌ථානයට වහා පැමිණ පරීක්‍ෂණ සිදුකර රමිත රඹුක්‌වැල්ල අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහු වෛද්‍ය පරීක්‍ෂණයකට ඉදිරිපත් කළ අතර එහිදී අනාවරණය වූයේ බීමතින් සිටි බවයි.

වෛද්‍ය පරීක්‍ෂණයෙන් අනතුරුව රමිත රඹුක්‌වැල්ල පොලිස්‌ ඇප මත නිදහස්‌ කිරීමට කුරුඳුවත්ත පොලිසියේ නිලධාරිහු කටයුතු කළ අතර ඒ පිළිබඳ නඩු විභාගය ලබන විසි හත් වැනිදා අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී පැවැත්වේ. ඔහු පැදවූ සුඛෝපභෝගි මෝටර් රථයේ ලියාපදිංචි අංක තහඩු තිබී නොමැති අතර ඒ පිළිබඳවද වෙනම පරීක්‍ෂණයක්‌ පොලිසිය ආරම්භ කර තිබේ. රමිත රඹුක්‌වැල්ල ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම පවා නියෝජනය කළ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකි. අවස්‌ථා ගණනකදී බීමතින් ඔහු පිස්‌සු නැටුවේය. එම එක්‌ අවස්‌ථාවකදීවත් ඔහු මට්‌ටුවූ බවක්‌ පෙනෙන්නට නැත.

ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ රටටත් අන් අයටත් ආදර්ශවත් ලෙස ජීවත්විය යුතුය. එසේ නොවුණහොත් ක්‍රිකට්‌ රසිකයන්ට පවා එවැනි ක්‍රීඩකයන් ගැන ඇතිවන්නේ මහත් අප්‍රසාදයකි. රමිත රඹුක්‌වැල්ලට මෙම අනතුරින් පසුව හෝ බොහෝ දේවල් ඉගෙනගත යුතුව ඇත. තවමත් ඔහු ප්‍රමාද නැත.

-ගයාන් සමරසිංහ-

Comments

comments

SHARE