ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ 4-0කින් එක්දින තරගාවලිය ජය ගනිති

94
0

ඔස්ට්‍රේලියානු කාන්තා පිලේ නිකෝල් බෝල්ටන්ගේ විශිෂ්ට ශතකයක්, එලිස් පෙරීගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් හේතුවෙන් ඊයේ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිවුවැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 137ක පරාජයක් උරුම කර ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල තරග 4කින් සමන්විත එක්දින තරගාවලිය 4-0කින් පරාජයට පත්විය.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු පිල පළමුව පන්දුවට පහරදී ඕවර 50 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී රැස් කළ ලකුණු 268 හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 45.5කදී ලකුණු 131කට දැවී ගියේය.

තරගයේ ජය අත් කරගැනීමට ඔස්ට්‍රේලියානු පිල ලබාදුන් ඉලක්කය අසීරු එකක් වූවත් 22 වැනි ඕවරය ආරම්භ වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 87ක් ලබා තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පිලේ ඉතිරි කඩුලු 8ම ලකුණු 44කදී බිඳ දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ආරම්භක පිතිකාරිනිය ලෙස ඊයේ තරගයට එක්වූ හසිනි පෙරේරා ලකුණු 2කට දැවීයාමෙන් පසුව නායිකා චමරී අතපත්තු සමග එක්වූ උපනායිකා ප්‍රසාදිනී වීරක්කොඩි දෙවැනි කඩුල්ලට ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වීම කැපී පෙනුණි. අතපත්තු, වීරක්කොඩි සහ චමරී පොල්ගම්පොල හැරුණු විට සෙසු පිතිකාරිනියන්ට ලකුණු 10 සීමාවට ළඟාවීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නියන් ඉඩ තැබුවේ නැත. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ක්‍රිස්ටීන් බීම්ස් කඩුලු 4ක් දවාලූ අතර හොලි ෆර්ලින් සහ රෙනී ෆැරල් අතර කඩුලු 3 බැගින් බෙදි ගියේය.

ඔස්ට්‍රේලියානු පිල දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ආරම්භක පිතිකාරිනිය නිකෝල් බෝල්ටන් ලකුණු 113ක් රැස් කිරිමට සමත්වූ අතර මැදපෙළ පිතිකාරිනිය එලිස් පෙරී පන්දු 77කදි හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමග නොදැවී වේගවත් ලකුණු 77ක් රැස් කිරිමට සමත්වූවාය.

ඔස්ට්‍රේලියාව – 268/3 (ඕවර 50) නිකෝල් බෝල්ටන් 113, මෙග් ලැනින් 43, එලිස් පෙරී නොදැවී 77 (චමරී අතපත්තු 48?2)

ශ්‍රී ලංකාව – 131 (ඕවර 45.5) ප්‍රසාදිනී වීරක්කොඩි 33, චමරී අතපත්තු 26 (ක්‍රිස්ටීන් බීම්ස් 26/4, රෙනි ෆැරල් 17/3, හොලී ෆර්ලින් 30/3)

Comments

comments

SHARE