ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

80
0

වියට්නාමයේ දැන් පැවැත්වෙන පස්වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පිරිමි බීච් කබඩි පිල ලෝකඩ පදක්කමක් දිනා ගනියි. ඊයේ ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 49-26ක් ලෙස ඉන්දියාව ජයගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 31-24ක් ලෙස කොරියාව පරදා පාකිස්තානය ජය වාර්තා කළේය. ඒ අනුව අවසන් පූර්ව තරගයෙන් පරාජිත ශ්‍රී ලංකාවට හා කොරියාවට ලෝකඩ පදක්කම් හිමිවන අතර ඉන්දියාව හා පාකිස්තානය අද පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම පෙරේදා පැවැති මූලික වටයේ දෙවැනි තරගයේදී දකුණු කොරියානු කණ්ඩායම හමුවේ ලකුණු 40-38කින් පරජයට පත්වුවද එයට පෙර මැලේසියාව සමග තරගය ලකුණු 76- 20කින් ජයගෙන අවසන් පූර්ව වටයට පැමිණියේය.

ශ්‍රී ලංකා පිරිමි කබඩි පිල ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී දිනාගත් තෙවැනි ලෝකඩ පදක්කම මෙය වේ. මෙයට පෙර 2012දී හා 2014දී මේ ආකාරයෙන්ම පිරිමි බීච් කබඩි තරග අංශයෙන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමි විය. පිරිමි කබඩි තරගවලට කණ්ඩායම් 6ක් සහභාගීවූ අතර එයින් තායිලන්තය හා මැලේසියාව පළමු වටයේදීම ඉවතට විසි විය.

කාන්තා කබඩි කණ්ඩායමද ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල දෙකකදී මෙයට පෙර ලෝකඩ පදක්කම් දිනා ඇති අතර අද දිනයේදී ද කුමන හෝ පදක්කමක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමේ අවස්ථාව උදා කරගෙන සිටී. ඊයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති කාන්තා කබඩි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 44-29ක ජයක් ලබා අද පැවැත්වෙන ඉන්දියාව සමග අවසන් පූර්ව තරගයට දැනටමත් සුදුසුකම් ලබා සිටීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.

අද පැවැත්වෙන කාන්තා කබඩි අවසන් පූර්ව තරගවලදී ජයගන්නා කණ්ඩායම් දෙක රන් පදක්කම සදහා අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර පරාජිත කණ්ඩායම් 2කට ලෝකඩ පදක්කම් පිරිනැමේ.

ශ්‍රී ලංකා කාන්තා කබඩි පිල ‘බී‘ කාන්ඩයේ මුහුණදුන් පළමු තරගයේදී ලකුණු 47- 41කින් තායිලන්තයට පරාජය වූ බැවින් එම කාණ්ඩයේ දෙවැනි තැනට පත්විය. එබැවින් ‘බි ‘ කාණ්ඩයේ තරග දෙකම ජයගත් ඉන්දියාව, ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේදී හමුවේ. ‘බී‘ කාණ්ඩයේ තරග දෙකම ජයගත් තායිලන්තය පෙරමුණට පැමිණ ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වූ කොරියාව සමග අවසන් පූර්ව තරගයට එක් වේ. මූලික තරගවලදී සහභාගීවූ තරග සියල්ල පරාජයවූ වියට්නාමය හා බංග්ලාදේශය ඉවතට ගියහ.

Comments

comments

SHARE