ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් ගැටලුවට විසදුම්

100
0
වසර 13 ක් තිස්සේ නොවිසඳුණු ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නය අවසන් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය  අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා srilanka sports  පැවසීය.

1986/2 – 2016-9-26 දාතමින් නිකුත් කළ මෙම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවත් පැවැති වැටුප් විෂමතා අවසන් කෙරෙන බවත් ලංකාදිපයට අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

මේ මස 29 වැනිදා යාපනේදි ආරම්භ වන 42 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙලට පෙර සිය වැටුප් ප්‍රශ්නය විසඳීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් ක්‍රීඩා උළෙලලට බාධා නොවන පරිදි යාපනේදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරින්ගේ සංගමය පවසා තිබුණි.

පසුගිය  අගෝස්තු 28 වැනිදා ක්‍රීඩා ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන්  ප්‍රතිඥාවක් දී තිබූ බවද ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර  තිබුණි.

මේ සම්බන්ධයෙන් sri lanka sports වෙත අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.

“මේ ප්‍රශ්නය අවුරුදු 13 ක්  තිස්සේ  ඇදී ගිය එකක්. ඊට ක්‍රීඩා ඇමැතිවරුන් කීපදෙනෙක් මැදිහත් වුණත් අන්තිමේදී ප්‍රශ්නය නතර වුණේ මගේ ළඟයි. දැන් ඒ ප්‍රශ්නයට  අපි පසුගිය සිකුරාදා සාකච්ඡා කරල ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් අරන් ඒක (26) අතිවිශේෂ ගැසට් නිවේදනයක් ලෙසට ප්‍රකාශයට පත් කරන්න තීරණය කළා. මෙම ප්‍රශ්නය ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය තවදුරටත් කතා කළ යුතු නෑ. දැන් මේ අය කළ යුත්තේ රාජකාරි හරියට ඉටුකරන එක” යැයිද ඇමැතිවරයා  වැඩිදුරටත් පැවසීය.

අප කළ විමසුමකදී සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ සභාපති රෝහණ ජයලාල් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සිය සංගමය තවමත්  දැනුවත් වී නොමැති  බවය.

ක්‍රීඩා ඇමතිවරයාගේ ලිඛිත ප්‍රතිඥාව දකින තුරු තමන්ට ඒ පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Comments

comments

SHARE