ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩිකාවන්ටත් ලෝකඩ

51
0
වියට්නාමයේ දැන් පැවැත්වෙන පස්වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා කබඩි පිල ඊයේ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. පෙරේදා දිනයේ පිරිමි බීච් කබඩි පිලද ලෝකඩ පදක්කමක් දිනාගත් හෙයින් මෙවර වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් හිමිව තිබේ. මෙහි පිරිමි අවසන් තරගය ලකුණු 25-23කින් ජයගත් ඉන්දියාව රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම පාකිස්තානයට හිමි විය. කාන්තා අවසන් තරගය ලකුණු 43-31කින් ජයගත් ඉන්දියාව රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම තායිලන්තයට හිමි විය.

ලෝකඩ පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කබඩි පිලට සජිනි මනෝහරී, මාධවී විජේකොන්, මනෝජා ලක්මාලී, මධුෂානී චතුරිකා, මධුරිකා අලහකෝන් හා මෙතුසලා තිලක්ෂණී ඇතුළත්වූ අතර පිරිමි කණ්ඩායමට මිලින්ද අහංගම, චමින්ද සමරකෝන්, ළහිරු කුරුප්පු, කසුන් තේනුවර, රනිදු චාමර හා ඒ. එස්. ආර් රත්නායක ඇතුළත් වූහ.

මෙයට පෙර 2012දී හා 2014දී පිරිමි හා කාන්තා බීච් කබඩි කණ්ඩායම් මේ ආකාරයෙන්ම ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට හිමිකර දුන්හ. ඒ අනුව වෙරළ ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් පදක්කම් 6ක් දිනා ඇති අතර ඒ සියල්ල කබඩි ක්‍රීඩාවෙන් දිනාගත් ලෝකඩ පදක්කම්වීම විශේෂත්වයකි.

ඊයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති කාන්තා කබඩි පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 29-23ක් ලෙස ඉන්දියාව ජයගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 40-33ක් ලෙස කොරියාව පරදා තායිලන්ත ක්‍රීඩිකාවෝ ජය වාර්තා කළහ. ඒ අනුව කාන්තා කබඩි අවසන් පූර්ව තරගවලදී පරාජිත ශ්‍රී ලංකාව හා කොරියාව ලෝකඩ පදක්කම් හිමිකර ගත් අතර ඉන්දියාව හා තායිලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා කාන්තා කබඩි පිල ‘බී’ කාණ්ඩයේ මුහුණදුන් පළමු තරගයේදී ලකුණු 47- 41කින් තායිලන්තයට පරාජය වූ අතර පෙරේදා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 44-29ක ජයක් ලබා ඉන්දියාව සමග අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්හ

Comments

comments

SHARE