පොත හරියටම කියවූ ගුරුවරයා

398
0

අල්ලපු රටට නෑගම් යාම අරුමයක් නොවන නමුත් ටෙස්ට් වරම් දිනා පළමු ඉන්දීය සංචාරය එය වූ බැවින් 1982 ඉන්දීය සංචාරය ප්‍රමුඛ තැනක විය. 1979 ලෝක කුසලානයේදී ඉන්දියාව පරදා ලත් ඉතිහාසගත ජය ටෙස්ට් වරම් වෙනුවෙන් හඩ නගන්නට ශ්‍රී ලංකාවට ප්‍රභල සාධකයක් වද්දී 79 අවමානය තුනී කරගන්නට කපිල් දේව් සැලසුම් ඇන්දාට සැක නැත.

එක්දින තරග 3 කින් සහ ටෙස්ට් තරගයකින් සමන්විත තරගාවලියේ ප්‍රථම එක්දින තරගය අපහසුවකින් තොරව ජයගන්නට ඉන්දියාව සමත් විය. ඉන් දීන තුනකට පසු දිල්ලි නුවර ෆෙරෝස් ෂා කොට්ලා පිටියේ දෙවන තරගය මෙරට බිහිකළ හැඩකාර පිතිකරුවකුගේ සදාකාලික ඉනිමකින් හැඩවන බව කිසිවෙකු නොසිතන්නට ඇත.

කාසියේ වාසිය දිනු බන්දුල වර්ණපුර පැකිලීමකින් තොරව පිති අතට ගන්නට තීරණය කළේය. නමුත් මුළු ලකුණු 10 ක් වනවිට වර්ණපුර කපිල් දේව් හමුවේ කඩුල්ල මුවා කරන්නේ අංක 3 පිතිකරු රෝයි ඩයස් ට ඉක්මන් කැදවීමක් කරමිනි. කපිල් දේව් ට අමතරව මදන් ලාල් ,රොජර්  බිනී  සහ මොහින්දර් අමරනාත් වැනි පන්දුවේ වැඩකරුවන් ද පිටියේ වූ බැවින් තත්වය තරමක් අසීරු විය. නමුත් ක්‍රිකට් පොත අකුරටම කියවූ සුපිරිම දකුණත් පිතිකරුවන් දෙපළ හිමින් සීරුවට ඉනිම ගොඩනගන්නට විය. සිදත් වෙත්තමුණි එක අන්තයක සිට හැඩකාර  ලෙස කවර් කලාපය පිත්තෙන් මට්ටු කරන විට අනිත් අන්තයේ සිටි රෝයි ඩයස් පෙර පාදය පෙරට දමා එවැනිම පහර කීපයකින් පන්දු යවන්නන් වෙහෙස කල හැටි අපුරුය. ටිකෙන් ටික හුස්ම ගත් ශ්‍රී ලංකා ඉනිම තුල පිටියේ දඩබ්බර වන්නට සිදත්ට සහ රෝයිට වැඩි වෙලා ගියේ නැත. දෙවන කඩුල්ල ලෙස සිදත් ලකුණු 74 ක් ලබා දැවී යනවිට  වාර්තා ගත ලකුණු 170 ක සබදතාවයක් ගොඩනැගී තිබු බැවින් ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් විය.

එතැන් පටන් පිටියට බට සියල්ලන් ලකුණු වේගය වැඩි කරන්නට උත්සහ කරද්දී රෝයි ඩයස් තම පිත්තේ පරිණත බව යලි යලිත් පෙන්නුම් කලේ හිමින් සීරුවට ශතකයට ලංවෙමිනි. ඒ වන විට ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ ආයුෂ වසර 7 ක් උවත් අත්දැකීම් අතින් එය රටේ  12 වන තරගය විය. ඊට පෙරාතුව එක්දින පිටියේ ශ්‍රී ලංකා නාමයට ශතකයක් නොවූ බැවින් මෙය අමරණීය මොහොතක් විය. හතරේ පහර 8 කින් සවිබල ගැන්වූ රෝයි ගේ ඉනිමට වැය වන්නේ පන්දු 114 ක් පමණි.එදා දිල්ලි නුවරදී රෝයි ඩයස් ලබන්නේ ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ පළමු ශතකයයි.ලකුණු 44 දී සහ 63 දී රෝයි ලබා දුන් උඩ පන්දු අතහැරීම පිලිබදව දුර්දර්ශන විචාරකයින් මැසිවිලි නගන විට ජාතික ගුවන් විදුලිය වටා කණ තබාගත් මෙරට  ක්‍රීඩා ප්‍රේමීන් අත් පොළසන් දී උඩ පැන්නාට සැක නැත.

මෙරට මංගල එක්දින ශතකයෙන් හැඩවූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 277 ක් දක්වා ඔසවා තැබූ නමුත් සියලු බලාපොරොත්තු සුළගේ පාකළ ඉන්දීය ආරම්භක පිතිකරු ශ්‍රිකාන්ත් පන්දු 66 ක් තුල ලකුණු 95 ක් ලබන්නේ තරගාවලියේ ජයද ඉන්දියාවට තිලිණ කරමිනි. තුන්වන එක්දින තරගයට පෙර ටෙස්ට් තරගය වෙනුවෙන්  එවකට මදුරාසි නුවර චෙපොක් පිටියේදී කණ්ඩායම් දෙක මුණ ගැසුණු අතර දුලිප් මෙන්ඩිස් යකා නටන්නේ එහිදීය. ඉනිම දෙකේදීම ශතක ලබන මෙන්ඩිස් තම පළමු ශතකය හයේ පාරකින් ලබන්නේ ඉන්දීය ප්‍රේක්ෂකින් නිහඩ කරමිනි. එම තරගයේ පළමු ඉනිමේ රෝයි ඩයස් ලකුණු 60 ක් ලබන අතර දෙවන ඉනිමේ ශතකය පෙනී පෙනී ලකුණු 97 දී දැවී යන්නේ ගවස්කාර් රැකගත් උඩපන්දුව නිසාවෙනි. තරගය ජය පැරදුමෙන් තොර උවත් කල් වෙලා තිබුනිනම් ඉන්දීය ඉතිරි කඩුලු 3 දඩයම් කිරීම එතරම් අපහසු නොවනු ඇත.

යලි අවසන් එක්දින තරගයට බැංගලෝර් නුවරදී මුණ ගැසුණු විට තම පිත්ත හොදහැටි පදම් කරමින් සිටි රෝයි ඩයස් හුදකලා ඉනිමක් දියත් කරමින් සුපරි ශතකයක් ලබන්නට සමත් වන්නේ පිට පිට එක්දින ශතක දෙකක් ලැබූ  මෙරට පළමු පුරවැසියාද වෙමිනි. එම තරගයත් පෙර පරිදිම  අපෙන් උදුරාගත් ශ්‍රීකාන්ත් තරගාවලියේ ජය 3-0 ලෙස ඉන්දියාවට ලියා දුන්නත් ක්‍රිකට් පිත්ත කරකවන පොතේ රීතිය තරගාවලිය පුරා කියා දුන් රෝයි ඩයස් මෙරට පමණක් නොව මැදිහත් ඉන්දීය වැසියන්ගේද සිත් උදුරාගත් බවනම් නිසැකය.

අතීතයේ එහෙව් වැඩකරු වර්තමානයේ තවත් පරපුරක් හදනා ගුරුවරයෙකි. එදා ක්‍රිකට් ඇහිද ගන්නට නේපාල වැසියන් සිහින දකිද්දී රෝයි ඩයස් එය අකුරට ඉටු කලේය. අද ශ්‍රී ලංකා යොවුන් පිල ඔහුට භාරව ඇත. හෙට දවස දිනන්නටනම් ක්‍රිකට් තාක්ෂණය සහ විනය තුල මේ යෞවනයන් පදම් කල යුතුමය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මේ ගෞරවනීය චරිතය එකී වගකීමටත් වගකියනා බවටනම් සිකුරුය.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE