ආරක්ෂක සේවා හොකී ශූරතා නාවිකයින්ට

84
0
2016 ආරක්‍ෂක සේවා හොකී තරග මාලාවේ පිරිමි සහ කාන්තා ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.

ආරක්‍ෂක සේවා හොකී ඉතිහාසයේ පිරිමි අංශයේ ශූරතාව නාවික හමුදාව දිනා ගත් පළමු අවස්‌ථාව මෙවර සටහන් වීම කැපී පෙනුණි.

නාවික හමුදාව සහ යුධ හමුදාව අතර පැවැති තීරණාත්මක අවසන් තරගයේදී ගෝල් 01-00 ට අතිශය තියුණු ජයග්‍රහණයක්‌ සටහන් කරගනිමින් අදාළ ශූරතා පළිහ නාවිකයෝ සටහන් කර ගත්හ.

තරගයේ ප්‍රථම භාග්‍ය සීමාවන විට ගෝල් 01-00 ක්‌ ලෙස නාවික හමුදාව පෙරමුණේ පසුවූ අතර එම තත්ත්වය තරගය අවසානය දක්‌වාම ආරක්‍ෂා කර ගැනීමට ඔවුන් සමත්වීම කැපී පෙනුණි. නායකත්වයේ භූමිකාව මැනවින් ප්‍රදර්ශනය කළ මනෝඡ් දීපාල් රත්නායක ජයග්‍රාහී එකම ගෝලය නාවික හමුදාව වෙනුවෙන් රැස්‌ කළේය.

මෙම තරගය දමිත් ජයසේන සහ නඩරාජා පරනිදරන් යන මහත්වරුන් විසින් විනිශ්චය කරන ලදී.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවැති කාන්තා අවසන් තරගයද අපේක්‍ෂා කළ පරිදි තියුණු මුහුණුවරක්‌ ගත් නමුත් අවසානයේ ගෝල් 02-01 ක ජයග්‍රහණයක්‌ වාර්තා කර ගැනීමට නාවික හමුදාව සමත්විය.

මෙම තරගයේ පළමු ගෝලය ගුවන් හමුදාව වෙනුවෙන් අනුරුද්ධිකා ගුණවර්ධන රැස්‌කරගත් නමුත් එම තත්ත්වය තරගය පුරාම ආරක්‍ෂා කර ගැනීමට අවස්‌ථාව ලබා නොදීමට නාවික හමුදාව සමත්වීම කැපී පෙනුණි. ලුහුබැඳ ගිය නාවික හමුදාව වෙනුවෙන් කැපී පෙණුනු මධුශානි ජයනෙත්ති 01 සහ චතුරිකා විඡේසූරිය 01 බැගින් ගෝල් රැස්‌කර ගනිමින් ශූරතා පළිහ තමන් සතුකර ගැනීමට සමත්වූහ.

දිනේෂා පෙරේරා මෙනවිය සහ ශිරෝමි අතුරුපාන මහත්මිය විසින් මෙම තරගය විනිශ්චය කරන ලදී.

Comments

comments

SHARE