ආසියානු පාපන්දු මහ සභා රැස්වීම විනාඩි 5කට සීමා වෙයි

102
0

ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිත සම්මේලනයේ මහා සභා රැස්වීම මිනිත්තු 5කදී නිමාවට පත් වෙයි. ඉන්දියාවේ ගෝවා නගරයේ පෙරේදා පැවැති ආසියානු පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය නීති විරෝධී බවට මතුවූ යෝජනාවකට ඡන්ද විමසීමේදී රටවල් 44ක් එය තහවුරු කොට ඡන්දය ප්‍රකාශ කිරීමත් සමග රැස්වීම නවතා දැමීමට සිදු විය. මෙය ආසියානු පාපන්දු සම්මේලන ඉතිහාසයේ කෙටිම රැස්වීම ලෙස වාර්තා විය.

ලෝක පාපන්දු සම්මේලනයේ නීති විරෝධී තීරණයක් න්‍යාය පත්‍රයට ඇතුලත්වී ඇතැයි ආසියානු සම්මේලන නියෝජිතයෝ විරුද්ධත්වය පළ කරද්දී ලෝක පාපන්දු සභාපති ගියානී ඉන්ෆැන්ටිනෝ මහතා ද රැස්වීමේ අසුන්ගෙන සිටීම විශේෂත්වයකි.

ලෝක පාපන්දු සම්මේලනයේ ආසියානු නියෝජිතයන් තෝරා ගැනීම උදෙසා ඉන්දීය පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් තිදෙනකු හා කටාර් හී සාවුඩ් අල් මොහන්නදී මහතා අතර මෙදින ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබියදී, ලෝක පාපන්දු සම්මේලනය කටාර් නියෝජිතයාට හදිසියේ තහනමක් පැනවූ බව, න්‍යාය පත්‍රයේ සදහන්වීම හේතු කොට ගෙන මෙම නොසන්සුන් තත්ත්වය උද්ගත විය. කටාර් හී නියෝජිතයාට තහනමක් පැනවීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කොට ඇත්තේ ලෝක පාපන්දු ආචාර ධර්ම උල්ලංඝණය කරමින් බව ආසියානු රටවල බහුතර නියෝජතයින්ගේ තර්කයවී තිබේ.

මේ හේතුවෙන් ආසියානු පාපන්දු සභාපති ෂේක් සල්මාන් බින් ඉබ්‍රහිම් අල් කලීෆා මහතා විසින් නයාය පත්‍රය ඉදිරියට ගෙන යනවාද ? නැද්ද ? යන්න පිළිබඳ මහ සභාවේ තීරණය විමසද්දී න්‍යාය පත්‍රය නීති ව්රෝධී බවට බහුතරයකගේ මතය විය. වසර 2022දී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර්හී පැවැත්වීමට සියල්ල සූදානම් වෙමින් තිබියදී මෙවැනි තහනමක් එරට නියෝජිතයෙකුට ලබාදීම සුදුසු නොවන බව අදහසවී තිබේ.

මේ පිළීඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක හා මූල්‍ය කමිටු සභාපති රංජිත් රුද්‍රිගූ මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ ආසියාවේ එකමුතුව ලෝක පාපන්දු නියෝජතයින්ට පෙන්වීමට හැකිවීම අගය කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ ඡන්දය න්‍යාය පත්‍රයට විරුද්ධව ලබාදුන් බව රුද්‍රිගූ මහතා පැවැසීය. රංජිත් රුද්‍රිගූ, පාපන්දු සභාපති අනුර ද සිල්වා හා ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරු ඇතුලු පිරිසකට ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිත සමුළුවට ආරාධනා කොට තිබුණි.

රටවල් 47ක නියෝජිතයින්ගේ ඡන්ද විමසීමේදී සිංගප්පූරුවේ නියෝජිතයා පමණක් න්‍යාය පත්‍රය නීති විරෝධී නොවන බවට ජන්දය ප්‍රකාශ කළ අතර මරියානා පාපන්දු නියෝජිතයා ඡන්දය දීමෙන් වැලකී සිටි අතර සිරියානු නියෝජිතයා රැස්වීමට සහභාගීවී සිටියේ නැත.

Comments

comments

SHARE