අලුත් ක්‍රිකට් කොන්ත්‍රාත්තුවක්‌

538
0

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සිය දෙනකුව නව වාර්ෂික කොන්ත්‍රාත්තුවක්‌ සඳහා නිර්දේශ කොට ඇත. තිලංග සුමතිපාල මහතා ක්‍රිකට්‌ සභාපතිවරයා වීමෙන් පසුව සකස්‌ කරන ලද පළමු ක්‍රීඩක කොන්ත්‍රාත්තුවද මෙය වේ.

පසුගිය සමයේ කොන්ත්‍රාත්තුවට වඩා මෙම කොන්ත්‍රාත්තුව නව ආරයකට සකස්‌ කොට ඇති අතර එහිදී ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා අනුව වැඩි මුදලක්‌ ක්‍රීඩකයන්ට ලැබෙන පරිදි මෙම කොන්ත්‍රාත්තුව සකස්‌ කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව දැනට ටෙස්‌ට්‌ තරගයකදී, එක්‌දින තරගයකදී සහ විස්‌සයි විස්‌ස තරගයකදී ක්‍රීඩකයන්ට ගෙවන තරග ගාස්‌තුවේ අඩුවීමක්‌ ඇති බවද වාර්තා වේ. එහෙත් කණ්‌ඩායම ජයග්‍රහණය කළහොත් තරග මුදලට වඩා වැඩි මුදලක්‌ ඔවුන්ට ලැබෙන පරිදි මෙම කොන්ත්‍රාත් ක්‍රමය සකස්‌ කොට ඇත.

ටෙස්‌ට්‌ තරගයකදී එක්‌ ක්‍රීඩකයකු මිලියනයකට ආසන්න මුදලක්‌ද එක්‌දින තරගයක්‌ වෙනුවෙන් ලක්‍ෂ පහක පමණ තරග ගාස්‌තුවක්‌ ක්‍රීඩකයන්ට ගෙවනු ලැබුවද මෙම නව කොන්ත්‍රාත්තුවෙන් එම මුදල පහළ බැස තිබේ. එහෙත් තරග ජයග්‍රහණය කළහොත් ඔවුන්ට වැඩි වාසියක්‌ අත්කර දෙන පරිදි කොන්ත්‍රාත්තුව සකස්‌ කිරීම මගින් ක්‍රීඩකයන් තරගකාරීත්වය වැඩි කිරීමට හැකි වනු ඇතැයි අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානීන් මෙම කොන්ත්‍රාත් ක්‍රමය සකස්‌ කොට තිබේ.

ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් විසි දෙනකු පළමු කොටසට නම්කොට ඇති අතර තවත් දහ දෙනකු දෙවැනි කොටසට නම් කොට තිබේ. එම කොටසට අයත් වන්නේ ශ්‍රී ලංකා “ඒ” සහ සංවර්ධිත සංචිතවල සිටින ක්‍රීඩකයන් වේ. ප්‍රධාන තිස්‌ දෙනා අතරට අයත් ක්‍රීඩකයන් “ඒ”, “බී”, “සී” සහ “ඩී” යනුවෙන් කාණ්‌ඩ ගත කොට ඇත.

“ඒ” කාණ්‌ඩයට ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් ඇතුළත්ව ඇති අතර ලසිත් මාලිංග එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරග දෙඅංශයම ක්‍රීඩා කරන්නේ නම් පමණක්‌ ඔහුවද “ඒ” කාණ්‌ඩයට ඇතුළත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානියකු “දිවයින” කළ විමසීමකදී පැවසීය.

ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීමට නොහැකි වුවද දේශීය තරගවලදී කැපී පෙනෙන දක්‍ෂතා දක්‌වන ක්‍රීඩකයන් හැත්තෑ දෙනකුවද කොන්ත්‍රාත්තුවට ඇතුළත් කොට තිබේ. දේශීය තරගවලදී ලැබෙන අඩු මුදල හේතුවෙන් ඔවුන් රට හැර යැමේ ඇති අවදානම අඩු කරමින් දේශීය තරගාවලිය ශක්‌තිමත් කිරීම උදෙසා එම ක්‍රීඩකයන්ටද වාර්ෂික කොන්ත්‍රාත්තුවක්‌ ලබාදී තිබේ. එම කොන්ත්‍රාත්තුවට වයස අවුරුදු 30 ඉක්‌මවූ දක්‍ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත්ව තිබේ.

Comments

comments

SHARE