කොදෙව් A මෙල්ල කරන්න දිමුත්ගේ පිරිස සූදානමින්

5497
0

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්‌ඩායම සමග පැවැත්වීමට නියමිත නිල නොවන ටෙස්‌ට්‌ තරග 2 සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමට වයස අවු. 19 න් පහළ යොවුන් කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

එම ක්‍රීඩකයන් අතර කණ්‌ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ලද චරිත් අසලංක, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු සහ අවිශ්ක ප්‍රනාන්දු යොවුන් කණ්‌ඩායම නියෝජනය කරමින් ඒ කණ්‌ඩායම සඳහා සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

මොවුන් අතරින් අවිශ්ක ප්‍රනාන්දු පමණක්‌ ඉකුත්දා අවසන් වුණු ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති එක්‌දින තරගාවලියේදී එක්‌ තරගයකට ක්‍රීඩා කරනු ලැබීය.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්‌ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම් කොට තිබෙන අතර ජාතික කණ්‌ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන ලද ළහිරු තිරිමාන්න ඇතුළත්ව සිටියත් කරුණාරත්නගේ සහායක තනතුර සඳහා කුසල් පෙරේරාව නම් කර ඇත.

මෙම තරගාවලියට නිල නොවන ටෙස්‌ට්‌ තරග 3 ක්‌ සහ එක්‌දින තරග 3 ක්‌ ඇතුළත්ව තිබෙන අතර එහි පළමු ටෙස්‌ට්‌ තරගය ඔක්‌තෝම්බර් 04 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. දෙවැන්න 11 වැනිදා මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද තෙවැන්න 18 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්‌දින තරගය 24 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීත් දෙවැන්න 27 වැනිදා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදීත් සහ තෙවැන්න ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායම/ දිමුත් කරුණාරත්න(නායක), කුසල් ජනිත් (උප නායක), ළහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, චරිත් අසලංක, නිරෝෂන් දික්‌වැල්ල, අසේල ගුණරත්න, අවිශ්ක ප්‍රනාන්දු, අනුක්‌ ප්‍රනාන්දු, විමුක්‌ති පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, ලක්‌ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, කසුන් මදුශංක.

Comments

comments

SHARE