LSR මැරතන් තරගය හෙට කොළඹ සිට මීගමුවට

87
0

සෑම වසරකම ඔක්තෝබර් මස පළමු ඉරු දිනයේ පැවැත්වීමට ජගත් ක්‍රීඩා කැලැන්ඩරයේ ස්ථිර ස්ථානයක් හිමිකර ගෙන සිටින ශ්‍රී ලංකාවේ එක ම ජාත්‍යන්තර මැරතන් ඉසව්ව වන ‘එල්.එස්.ආර්. කළම්බො මැරතන්’ තරගය 16 වැනි වතාවටත් හෙට පැවැත්වේ.

ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 40කින් පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,000කට ආසන්න සංඛ්‍යාවක් මෙවර තරගයට සහභාගි වීමට නියමිතය. තරගය සංවිධානය කිරීම සඳහා වැයවන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 20කි.

ජලය හා සොබාදහම පදනම් කරගත් ක්‍රියාකාරකම්හි විශේෂඥවරුන් සහ මෙරට ප්‍රමූඛතම සංචාරක ආයතනයක් වන ‘ලංකා ස්පෝට්රයිසන්’ (එල්.එස්.ආර්.) ආයතනය විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී වසරක් පාසා අතිසාර්ථකත්වයෙන් යුතුව පවත්වා ගෙන යන කළම්බො මැරතන් තරගය මෙවරද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසලින් හෙට පෙරවරු 6.00 ට ආරම්භ වී බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල හරහා හැමිල්ටන් ඇල, පමුණුගම, තලාහේන, පිටිපන හා දූව ඔස්සේ මීගමුව වෙරළ උද්‍යානයට කිලෝ මීටර 42.195ක දුරක් පැමිණ අවසන් වෙයි.

තරගයේ ජයග්‍රාහකයාට හා ජයග්‍රාහිකාවට අමෙරිකානු ඩොලර් 2,500 බැගින් හිමිවන අතර ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් වෙතින් නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රය බැගින්ද ලැබෙනු ඇත.

ප්‍රධාන ඉසව්වට අමතරව කිලෝ මීටර 21.097ක් දුරැති අර්ධ මැරතන් තරගයක්ද, වි‍නෝදයට දිවීමේ තරගයක්ද පැවැත්වෙනු ඇත. මේ තරගවල ජයග්‍රාහකයිනටද ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

සංචාරක අමාත්‍යංශය හා ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ආයතනය ප්‍රධාන අනුග්‍රහය දක්වන මේ තරගය සාර්ථක කර ගැනීම පිණිස බස්නාහිර පලාත් සභාවද එක්ව සිටී. මීට අමතරව මේ තරගය සංවිධානය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, අදාළ ප්‍රාදේශීය සභා හා කොළඹ හා මීගමුව නගර සභා, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය, අධ්‍යාපන අමාත්‍යංශය හා මීගමුව හෝටල හිමිකරුවන්ගේ සංගමයද එක්ව සිටිති.

‘එල්.එස්.ආර්.කළම්බො මැරතන්’ තරගයට සහභාගි වන පිරිස දෙස බලන විට මේ තරගය 1998 ආරම්භයේ සිට මේ දක්වා ශක්තියෙන් ශක්තියට පත්ව තිබේ. ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් 1998 වසරේ මුල් වරට පැවැති තරගයට විදෙස් තරගකරුවන් 28 දෙනෙක් හා දේශීය තරගකරුවන් 328 දෙනෙකු සහභාගි වූහ. එහෙත් පසුගිය 2015 වසරේ තරගයට සහභාගි වූ තරගකරුවන්ගේ සංඛ්‍යාව 6,400ක් විය. රටවල් 39කින් පැමිණි විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 දෙනෙකුද මේ අතර වූහ.

හෙට පැවැත්වීමට නියමිත ඉසව් හා සහභාගි විය හැකි වයස් ඛාණ්ඩ මෙසේය.

*පූර්ණ මැරතන් – අවුරුදු 18 හා ඉහළ (පිරිමි/කාන්තා)

*පූර්ණ මැරතන් – අවුරුදු 50 හා ඉහළ (ප්‍රවීන පිරිමි/කාන්තා)

*අර්ධ මැරතන් – අවුරුදු 17 හා ඉහළ (පිරිමි/කාන්තා)

*අර්ධ මැරතන් – අවුරුදු 50 හා ඉහළ (ප්‍රවීන පිරිමි/කාන්තා)

*කිලෝ මීටර 10 විනෝදයට දිවීම – අවුරුදු 15 හා ඉහළ (පාසල් හා අනෙකුත් පිරිමි/කාන්තා)

*කිලෝ මීටර 5 විනෝදයට දිවීම – අවුරුදු 15 හා ඉහළ (පාසල් හා අනෙකුත් පිරිමි/කාන්තා)

Comments

comments

SHARE