දෙකට බෙදුණු සතුට

173
0

ඉන්දීය ටෙස්ට් තරග ඉතිහාසය තරග 500 ක විජයග්‍රාහී කඩඉම පසු කරන මොහොතේ  ටෙස්ට් තරග ගණනාවක මතකය ඉන්දීය ප්‍රේක්ෂකින් වෙත ඇතිවාට සැක නැත. නමුත් මහන්සියෙන් හා අසාවෙන් තනිව කන්නට පදම් කල කේක්‌ ගෙඩියක් හදිස්සියේම කඩාවැදුණු අමුත්තෙකු හා සමව රසබලන්නට වුනිනම් දැනෙන දුක අපමණය. ඊටත් වඩා වේදනාව එම කේක්‌ ගෙඩියට අමුත්තාද සම සමව හිමිකරුවකුද වීමය. එවැනි දුර්ලභ  මතකයක් රැදී ටෙස්ට් තරගයක් ක්‍රිකට් මතක පොතේ ලියවී ඇත.

1986 ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම සත්කාරකත්වය ලබා දෙන්නේ ජයග්‍රහණය අතේ තබාගෙනය. ඊට පෙරාතුව එංගලන්තයේදී තරග 2-0 ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජයගත් උද්දාමය සහ ලෝක ශුර ලේබලය සහිත කපිල් දේව් ගේ පිරිවර ඇලන් බෝඩර් ගේ කොලු රෑන සමග ගව් ගණනක් ඉදිරියෙන් විය. චැපල් , ලිලී යුගයට පසුව කැන්ගරු ක්‍රිකට් පණ ලබමින් සිටි කාලය එය විය. වසර දෙකහමාරකට ආසන්න කාලයක් තුල ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලියක් ජය ලබා නොතිබුණි. පුහුණුකරු බොබ් සිම්සන් ගේ පළමු විදෙස් සංචාරයත් එයම විය.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් එවකට මදුරාසියේ චෙපොක් හි චිදම්බරම් පිටියේ කාසියේ වාසිය දිනු බෝඩර් පළමුව පිති අතට ගත්තේ තරගාවලිය වෙනුවෙන්ම පෙරහුරුවක් ලබන්නටය. කපිල් දේව් , චේතන් ශර්මා , මනින්ද්‍ර සිං සහ රවී ශාස්ත්‍රී වැන්නන් ඉදිරියේ කැන්ගරු සැලසුම තිතටම වැඩකළ නමුත් දැඩි හිරු රැසින් වන වෙහෙස නිවන්නට කිසිම පෙර සුදානමක් නොවීය.මදුරාසි ඉහළ වායු තලයේ උණුසුම 40 C වීම දරා ගැනීම අපහසු උවත් ඩේවිඩ් බූන් අන්තයක් රැකගෙන ශතකය ඉක්මවන විට අංක 3 පිතිකරු වූ ඩීන් ජෝන්ස් ක්‍රීඩා කලේ තම 3 වන ටෙස්ට් තරගයටයි. දකුණු අර්ධ ගෝලයේ කෙළවරක උපන් මේ 23 හැවරිදි යොවුන් පිතිකරුවා දෙවන දිනයේ තම මංගල ටෙස්ට් ශතකය සම්පුර්ණ කරන විටත් දැඩි වෙහෙසක් පෙන්නුම් කලේ අධික උණුසුම නිසාමය. ඇලන් බෝඩර් අනිත් අන්තයේ රැදෙමින් දිගු ඉනිමක් වෙනුවෙන් මේ යෞවනයා දිරිමත් කරද්දී තම වෙහෙස නිසාම ඔහු සීමාවෙන් එපිට පහර වෙත උනන්දු විය. භාරත භුමියේ ඕස්ට්‍රේලියානු පිතිකරුවකු ලබන මංගල දිත්ව ශතකය ඩීන් ජෝන්ස් පසුකලේ අවසන් ලකුණු 100 වෙනුවෙන් පන්දු 66 ක් පමණක් වැය කරමිනි. ලකුණු 210 ක් ලැබූ ඩීන් ජෝන්ස් ඉනිම නිමකළ සැනින් රෝහල් ගත කල අතර අදටත් කැන්ගරු පිතිකරුවකු ඉන්දියාවේදී ලද ඉහළම  ටෙස්ට් ඉනිම ලෙස එය ඉතිහාසගතය. එතනින් නොනැවතුණු ඕස්ට්‍රේලියා ඉනිම තව දුරටත් පදම් කල ඇලන් බෝඩර් තවත් ශතකයක් ලබන්නේ පළමු ඉනිමේ සම්පුර්ණ ගෞරව සංචාරකයන් වෙත නතු කරමිනි. කඩුලු 7 කට ලකුණු 574 ක්  ලෙස ලියවූ ලකුණු පුවරුව දෙස බැලීම පවා ඉන්දියාවට පීඩනයක් විය.

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රීකාන්ත් , අසරුදීන් සහ ශාස්ත්‍රී අර්ධ ශතක ලැබුවත් දිගු ඉනිම් ක්‍රීඩා නොකිරීම මත ලකුණු පුවරුව අසීරු විය.නම් දැරූ පිතිකරුවන් අතරින් හත්වන කඩුල්ල ලෙස කිරාන් මොරේ ද දැවී යද්දී ඉනිමක අවදානම ඉන්දීය පිල සතු විය. නිදා සිටි යක්ෂයා අවදි වන්නේ ඉන් අනතුරුවය. 83 ලෝක කුසලානයේදී සිම්බාබ්වේ හමුවේ ලත් සටන්කාමී ඉනිම යලි මතක් කල කපිල් දේව් හතරේ පහර 21 කින් සවිමත්ව ලකුණු ලකුණු 119 ක් ලබනේ තම බිමේදී හිස පහත හෙලන්නට සුදානම් නැති වගට සපථ කරමිනි. අවසන් කඩුල්ල ලෙස කපිල් දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව 397 ක් ලෙස ලියවී තිබුණි. දකුණතින් පිටදග පන්දු යැවූ ග්‍රෙග් මැතිව්ස් ප්‍රථම වතාවට කඩුලු 5 ක් බිදහෙලුවේ වෙහෙසකර පන්දුවාර ගණනක් නිම කරමිනි.

fb_img_1475042453860

සිව්වන දිනට තරගය නිමවනවිට ලකුණු 170 ක් කඩුලු 5 කට ලබා සිටි ඔස්ට්‍රේලියාව අවසන් දින ආරම්භයේදීම ඉනිම නිමවා ලකුණු 348 ක ඉලක්කයක් ඉන්දියාවට පැවරුවේ වැඩි වාසියක් බෝඩර්ගේ අතේ තබාය. ප්‍රහාරාත්මක පිතිකරු ශ්‍රීකාන්ත් ලකුණු 39 කට සීමා කලත් මොහින්දර් අමරනාත් සමගින් එකතුවූ සුනිල් ගවස්කාර් හිතේ හැටියට පිති කරකවන්නට විය. අමරනාත් අර්ධ ශතකය ලබා දැවී යද්දී අසුරුදීන් යලි ගවස්කාර් සමගින් කදවුරු බදින්නට වුනා. තේ පානය වෙනුවෙන් තරගය නතර කරන විට ඉන්දීය පිල බෝඩර්ගේ අතේ තිබු වාසිය තමන්ගේ සාක්කුවේ දා ගත්තේ කඩුලු 2 ක් දැවී ලකුණු 193 ක් ලෙස ඉනිම සකසමිනි. ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 30 කදී දැන් ඉලක්කය ලකුණු 155 කි.ලෝක ශුරතාව දිනු පිලකට එය මහ කජ්ජක් නොවන බව වටහා ගත් ඉන්දීය ප්‍රේක්ෂකින් එකින් එක ප්‍රේක්ෂකාගාර තුල ගාල් වුයේ බලාපොරොත්තු පොදි බදිමිනි. දිනය ආරම්භයේ සිටි ප්‍රේක්ෂක පිරිස 10,000 සිට 50,000 දක්වා වැඩි වද්දී බෝඩර්ගේ කොලු රෑන අපහසුවෙන් හුස්ම ගත්තට සැක නැත.

තවත් සුපිරි ශතකයක් අභියස සිටි සුනිල් ගවස්කාර් ඩීන් ජෝන්ස් වෙත උඩපන්දුවක් දී දැවී ගියත් භාරත වැසියන් කලබල නොවුයේ සෙසු සගයන්ගේ තරම දැන සිටි බැවිනි.නමුත් ලකුණු 2 ක් තුල අසුරුදීන් සහ පළමු ඉනිමේ පෙරළිකාරයා කපිල් දේව් ද දැවී යාමත් සමග තත්වය බරපතල විය. චේතන් ෂර්මා සහ රවී ශාස්ත්‍රී හත්වන විකට්ටුවට ලකුණු 41 ක් වේගවත්ව ලැබුවත් ෂර්මා දැවී යාමත් සමග යලි පීඩනය වැඩි විය.මුහුණදුන් පළමු පන්දුවටම කඩුලු රැකි කිරාන් මොරේ ගොදුරු වන්නේ රවී ශාස්ත්‍රී හුදකලා කරමිනි. වමත් දග පන්දු යවන රේ බ්‍රයිට් පසෙකින් කඩුලු දඩයම් කරද්දී පළමු ඉනිමේ කඩුලු 5 ක් ලැබූ ග්‍රෙග් මැතිව්ස් එක අන්තයකින් අඛණ්ඩව පන්දු යැව්වේ ඇලන් බෝඩර් ගේ උපායටය. නමුත් රවී ශාස්ත්‍රී උපමහද්වීපික තණතිලි මත කැන්ගරු දග පන්දුව පුස්සක් බවට කියමින් හතර අතේ පිත්ත වැනුවේ හයේ පහර 2 ක්ද එකතු කරමිනි.

fb_img_1475042439885
අවසන් පන්දු ඕවරයට තරගය යොමුවද්දී ඉන්දීය කඩුලු 9 ක් දැවී ගොස් තිබුණි. ජය වෙනුවෙන් ලකුණු 4 ක් නියම වද්දී පිටියේ සිටියේ එතෙක් කොන්ද කෙලින් තබා ක්‍රීඩා කල රවී ශාස්ත්‍රී බැවින් තම ආගම ක්‍රිකට් බවට පෙරලූ භාරත වැසියන්ට ජයග්‍රහණය ඉර පායනවාසේ සිකුරුය. කොළ පැහැති තොප්පිය පැළද පන්දු යැවූ ග්‍රෙග් මැතිව්ස් වෙතම පන්දු යැවීම භාරවූ අතර පළමු පන්දුවට ලකුණක් නොවීය. දෙවන පන්දුව ඩීප් බැක්වර්ඩ් ස්කුවාර් ලෙග් හරහා තල්ලු කරන ශාස්ත්‍රී  ලකුණු දෙකක් පහසුවෙන් ලබන්නේ ස්ටීව් වෝ ගේ දුර්වල පන්දු රැකීම හමුවේය.ඉන්පසු පන්දුවටද පහසුවෙන් ලකුණක් ලබන රවී අන්තය මාරු කරගත් විට තරගය සම සමය. අවසන් පිතිකරු මනින්දර් සිං වෙත ජයග්‍රාහී ලකුණ පවරා
රවී ශාස්ත්‍රී සැහැල්ලුවෙන් සිටියත් ඇලන් බෝඩර් පිතිකරු අසලම සිලි පොයින්ට් සහ ෆෝවර්ඩ් ෂෝර්ට් ලෙග් වෙත දෙදෙනෙකු කැදවුයේ අන්තිම තුරුම්පුවටය. ඕවරයේ සිව්වන පන්දුවට ලකුණක් නොවීය. දැන් පන්දු දෙකක් තුල ලකුණක් පමණක් ඇවැසිය. පස්වන පන්දුව මැද ඉන්න කෙළින් පතිතවී දග කැවෙන විට පසු පාදයට ගිය මනින්දර් සිංගේ පිත්තේ නොවැදී පාදයේ වැදුනි. සැනෙකින් පිතිකරු අසල සිටි සියල්ලන් අත් ඉහළට ඔසවද්දී විනිසුරු හැරෙන තැපෑලෙන් දකුණත එසවූයේ ලෝක ටෙස්ට් වංශකතාවේ සදාකාලික තරගයක් නිම කරමිනි.

එය ලෝක ටෙස්ට් ඉතිහාසයේ දෙවන ලකුණු සමවූ තරගයයි.එතැන් පටන් ඇලන් බෝඩර්ගේ නායකත්වයේ යුගය ලියවෙන්නට වූ අතර 1987 ලෝක කුසලානය දිනන්නට පදනම එම තරගය වූ බව පසු කලෙක ඔහු කීවේය. එදින රාත්‍රියේ  කණ්ඩායම් දෙකම එකට ජයපැන් බීවූ අතර එහි බිල තමන් ගෙවන වගට පිරිස ඉදිරියේ පුරසාරම් දෙඩුවේ ඕස්ට්‍රේලියානු කළමනාකරුය. සේවකයින් 30 දෙනෙකුට වැඩ වැඩිවූ රාත්‍රී සාදයේ බිල පසුදා උදෑසන ඕස්ට්‍රේලියානු කළමණාකරුගේ හෝටල් කාමරයට යැවූ අතර එය දුටු ඔහුට හීන් දාඩිය දමන්නට විය.මුළු සංචාරය වෙනුවෙන්ම ඔහුට ලැබෙන දීමනාව ඇමරිකානු ඩොලර් 9000 කි. නමුත් පෙරදා රාත්‍රී සාදයේ බිල ඇමරිකානු ඩොලර් 13,500 ක් ලෙස සටහන්ව තිබුණි.fb_img_1475042445514

එදා අවසන් ලකුණ වෙනුවෙන් තමා සැහැල්ලු වුයේ මන්දැයි අදටත් ප්‍රෙහෙලිකාවක් බව රවී ශාස්ත්‍රී නිරන්තරව කියයි . එම ඉතිහාසගත  තරගයේ අවසන් කඩුල්ල වෙනුවෙන් අත ඉහළට එසවූ විනිසුරු වී . වික්‍රමරාජු විනිශ්චය කල දෙවන ටෙස්ට් තරගයද එය වූ අතර ඉන් පසු කිසිදු දිනක ටෙස්ට් පිටියේ ඔහු දකින්නට නොලැබීමත් තරග  ප්‍රථිපලයේ ඉන්දීය  වේදනාවට හොදම නිදසුනකි.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE