ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුව සහ කළමනාකරු මාෆියාව

263
0

වෘත්තීමය රාජකාරිය දේවකාරිය මෙන් ඉටුකරන තැනැත්තා ජීවිතයේ යා යුතු ඉහළම ස්‌ථරයට නිරායාශයෙන්ම පියමන් කරති. එවැනි පුද්ගලයන් හම්බන් කිරීමට උකුසු ඇස යොමු කරන තැනැත්තෝද නොඅඩුව සිටිති. මේ කතාව ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් පරතෙරට යන්න සැලසුම් සකස්‌ කරමින් පියමන් කරන ක්‍රීඩකයන්ට උකුසු ඇස යොමු කරන කළමණාකරුවන් ගැනය.

ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට කළමණාකරුවෙක්‌ නොමැතිව බැරිය. නමුත් ඒ කළමණාකරුවා සද්භාවයෙන් ඔහුට සහ රටේ ක්‍රීඩාවට ආදරය කරන කළමණාකරුවකු විය යුතුය. එබැවින් මඩිය තරකරගන්නට උත්සාහ කරමින් ක්‍රීඩකයාත් රටේ ක්‍රීඩාවත් අතර ඝට්‌ඨණයක්‌ ඇති කරන කළමණාකරුවෝද සිටිති.

පසුගියදා ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගෙන ගිය තිලකරත්න ඩිල්ෂාන් කළමණාකරුවන් සිටීමෙන් කණ්‌ඩායමේ බෙදීමක්‌ ඇතිවිය හැකිද පෙන්වා දුන්නේය. ඔහු වසර විස්‌සකට ආසන්න කාලයක්‌ ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩා කළ අයෙකි. එබැවින් ඔහු කළමණාකරු සෙල්ලම ගැන හොඳට දනී. “මටත් කළමණාකරුවෙක්‌ හිටියා රොෂාන් අබේසිංහ. නමුත් ඔහු විස්‌තර විචාරවලදී මාව අගය කරනව කියල සමහරු බොරු චෝදනා දාලා එහෙම අයට ක්‍රීඩකයන්ගෙ කළමණාකරුවන් විදිහට ඉන්න බැරි නීතියක්‌ ගෙනාවා. පස්‌සෙ මම කළමණාකරුවෙක්‌ නැතිව තමයි සෙල්ලම් කළේ. සමහර කළමණාකරුවන්ට ක්‍රීඩකයන් හය හත ඉන්නවා. එතකොට ඔවුන්ව පාලනය කරන්නෙ අර කළමණාකරුවාට ඕන විදිහටයි.” යනුවෙන් ඩිල්ෂාන් පැවසීය.

කළමණාකරු සෙල්ලමේ බරපතලකම තේරීමට කලක්‌ ගත වෙයි. ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ දක්‍ෂතාවට සරිලන කොන්ත්‍රාත්තුවක්‌ සොයා දීම කළමණාකරුවාගේ වගකීමයි. නමුත් ඔහු ඉන් එහාට ක්‍රීඩකයන්ව හසුරුවන්නට උත්සාහ කළොත් ඇති වන්නේ ඝට්‌ඨණයකි. තේරීම් කමිටුවේ ඔළුව අතගාමිනී තමාගේ යටතේ ඉන්න ක්‍රීඩකයාව කණ්‌ඩායමට රිංග වීමට අදාළ කළමණාකරුවා උත්සහ කරයි. එවිට දක්‍ෂයකුට ස්‌ථානය අහිමි වන්නට පුළුවන. තවත් විටෙක ලැබෙන කොමිස්‌ මුදල බෙදා ගනිමින් ක්‍රීඩකයන්ව එහෙට මෙහෙට තල්ලු කිරීමටද කළමණාකරුවන්ට හැකියාවක්‌ තිබේ.

දැලි පිහියෙන් කිරි කන තරමට විටෙක මෙම කළමණාකරු සෙල්ලම ක්‍රිකට්‌ ක්‍රීඩාවට හානි කරයි. නමුත් ඒ සෙල්ලම පාලනය කිරීමටද පාරිපාලකයන් දක්‍ෂ විය යුතුය.

තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ ආයතනය පළමු වරට ක්‍රීඩක කොන්ත්‍රාත්තුවක්‌ සකස්‌ කොට තිබේ. එහිදී ක්‍රීඩකයන්ට අසාධාරණයක්‌ නොවන ලෙස එය සකස්‌ කිරීම සහ රටේ ජයග්‍රහණය වෙනුවෙන් එය සකස්‌ කිරීමේ සමබර දක්‍ෂතාව ඇත්තේ ක්‍රිකට්‌ සභාපතිතුමා සහ තේරීම් කමිටුව අතේය. නමුත් භාණ්‌ඩාගාරයේ ඇති මුදල පිළිබඳව දැන ගනිමින් ඒ කොන්ත්‍රාත්තුව සකස්‌ නොකළහොත් ක්‍රිකට්‌ ආයතනය තවදුරටත් ණය බරින් හෙම්බත් වන බව අමතක කළ යුතුය. ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සාධාරණ වැටුපක්‌ අවශ්‍ය වී තිබේ. ඔවුන් කර ගැට ඇති වන තෙක්‌ දහඩිය හෙළමින් රට දිනවන විට ක්‍රිකට්‌ ආයතනයේ බුරුතු ගාණන් සේවකයන්ටද පඩි නඩි ගෙවීමේ හැකියා ඇත. නමුත් සියල්ල ගැන සෙවිල්ලෙන් සිටිය යුතුය.

නව ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුවට සිය දෙනෙක්‌ ඇතුළත්ව සිටිති. ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කාණ්‌ඩ තුනක්‌ යටතේ පළමු විසි දෙනා අතර සිටියි. ශ්‍රී ලංකා “ඒ” සහ සංවර්ධිත සංචිතවල දහදෙනකු දෙවැනි කොටසට අයත් වේ. තවත් හැත්තෑවක්‌ ක්‍රීඩා සමාජ සහ පළාත් මට්‌ටමින් ඇතුළත් කර තිබේ. දේශීය ක්‍රිකට්‌ තරගාවලියේ තරගකාරීත්වය වැඩි කිරීම සඳහා ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන්ටද කොන්ත්‍රාත්තුවක්‌ ලබාදීම අගය කළ යුත්තකි.

කුමන කොන්ත්‍රාත්තුවක්‌ සකස්‌ කළද ඒ සඳහා කණකොකා හඩන ක්‍රීඩකයන් පිරිසක්‌ පසුගිය වකවානුවේ සිටි බවට ඇතැම් පරිපාලකයෝ චෝදනා කළහ. එයට හේතුව වී ඇත්තේ පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ඉහළට ගමන් කළ බැවිනි. නමුත් මේ වකවානුවේ ශ්‍රී ලංකාව වැටි වැටී නැගිටින්නට හදන අවස්‌ථාවකි. පරණ අයියලාද දැන් කණ්‌ඩායමේ නැත. එබැවින් කොන්ත්‍රාත්තුව පිළිබඳව ක්‍රීඩකයන්ගේ ඔළුව විකෘති කරනු ලබන්නේ ඉහත සඳහන් කළ කළමණාකරුවන්ය. “උඹට රටට ගහන්නෙ නැතිව වෙන කවුන්ටි්‍ර තරගාවලියක්‌ මම හරි ගස්‌සල දෙන්නම්. එතකොට මීට වඩා ගාණක්‌ හොයන්න පුළුවන්.” යනුවෙන් පවසන කළමණාකරුවන්ද සිටි බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම 2014 විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීම සඳහා පිටත් වුයේද එම කොන්ත්‍රාත්තුවක්‌ අත්සන් නොකර වීම විශේෂත්වයකි. නමුත් එම කණ්‌ඩායම කොන්ත්‍රාත්තුව පසෙක දමා ලෝක ශූරයෝ වූහ.

ලොව බිහි වූ විශිෂ්ඨතම ක්‍රීඩකයන් සෑම කෙනෙකුටම කළමණාකරුවෙකු සිටිති. ක්‍රීඩකයා ක්‍රිකට්‌ ක්‍රීඩා කරද්දී ඔහුට ලැබෙන මුදල සහ වෙනත් කොන්ත්‍රාත්තු පිළිබඳව ඔහුව යොමු කරමින් එම පරිපාලනය කිරීම කළමණාකරුවාගේ වගකීමයි. නමුත් ඉන් එහාට ඔහු ක්‍රීඩකයාව මෙහෙයවන්නේ 10% කොමිෂම නිසාය.

කැඩිච්චි සපත්තු කුට්‌ටම දමාගෙන තරග වදිමින් පාසලේ ජල කරාමයන් බඩ පිරෙන්නට වතුර බී දක්‍ෂතාව මුවහත් කර ගත් ඇතැම් ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ, රටට ක්‍රීඩා කරන විට ඔවුන්ව කළමණාකරනය කරන්නට මේ කළමණාකාර නඩය පෙළ ගැසී සිටිති. එහෙත් අවාසනාව වන්නේ ඔවුන්ට මුල් කාලයේදී අතහිත දෙන්නට හෝ ඔවුන්ව කළමණාකරනය කරන්නට කිසිවෙකු නොමැති වීමයි.

ක්‍රිකට්‌ ක්‍රීඩකයන් හරහා නිරමාණය වන වෙළෙඳපොළට බසින මේ කළමණාකාර නඩය ක්‍රීඩකයන්ගේ සාක්‌කුවට එන මුදලින් 10% ක මුදලක්‌ ලබා ගනු ලබයි. ක්‍රීඩකයාගේ ජනප්‍රියත්වය සහ දක්‍ෂතාව උදෙසා ඔහුව අයි.පී.එල්. හෝ බී.බී.එල් වැනි තරගාවලියක්‌ නියෝජනය කළද මේ කළමණාකරුවාට අතමිට සරුවේ. එය ඔහුගේ රාජකාරිය වේ. නමුත් එක කළමණාකරුවකු විසින් ක්‍රීඩකයන් හය හත් දෙනකු හසුරුවන විට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ තිරය පිටුපස නායකයා ඔහු නොවන්නේ කෙසේද?

නවකයන් කණ්‌ඩායමට පැමිණෙමින් තිබෙන මොහොතක කළමණාකරු මාෆියාවක්‌ ඇතිවීමට පෙර ඒ සඳහා ක්‍රිකට්‌ ආයතනය අවදියෙන් සිටිය යුතුය. ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවට සරිලන වැටුපක්‌ ලබාදීමට ක්‍රිකට්‌ ආයතනය උත්සහ කළ යුතුවේ. එවිට කළමණාකරුවන්ට මාෆියාවක්‌ කිරීමට අවකාශ ඇහිරෙයි. සෑම ක්‍රීඩකයකුටම ක්‍රිකට්‌ ආයතනයෙන් කළමණාකරුවකු පත් කරන්නට යෙදුනහොත් එය රාජකාරී මට්‌ටමින් සිදුකෙරේ. එවිට කොහේ හෝ සිටින කළමණාකරුවකුගේ සාක්‌කුවට යන මුදල ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වටා කරකැවෙති. පිට රට සිට මෙහෙට පැමිණි සුද්දකු පසුගිය කාලයේදී නම්දැරූ ක්‍රීඩකයන්ගේ කළමණාකරු විය. ඒ හරහා දියත් වූ විෂබීජ නැත්තාම නොවේ.

එක්‌ ටෙස්‌ට්‌ තරගයක්‌ වෙනුවෙන් ක්‍රීඩකයකුට මිලියනයක්‌ පමණ ලැබේ. එක්‌දින තරග සහ විස්‌සයි විස්‌ස සඳහාද එම මුදලින් අඩක්‌ ලැබේ. එහෙත් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ඊටත් වඩා වෙළෙඳපොලක්‌ ජාත්‍යන්තරයේ විවෘතව තිබේ. ඒ සඳහා ගමන් කිරීමට දක්‍ෂතාව අවශ්‍ය වේ. කුමන වෙළෙඳපොළකට හෝ ක්‍රීඩකයාට වටිනාකම ලැබෙන්නේ රටට ක්‍රීඩා කරන කාලයේ දක්‌වන දක්‍ෂතාව නිසාය. මේ සියලු දැ කළමණාකරණය කර ගැනීම ක්‍රීඩකයාගේ වගකීමකි. ක්‍රිකට්‌ ආයතනයද මේ සඳහා යම් කිසි ක්‍රියාදාමයක්‌ අනුගමනය කළ යුතු යෑයි අපගේ හැඟීමයි.

Comments

comments

SHARE