කරච්චි ත්‍රස්තවාදියා

350
0
එය 1981 පාකිස්ථාන කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයයි. සෆ්රාස් නවාස් , වසීම් බාරි , මජීඩ් ඛාන් වැනි ජේෂ්ඨ සාමාජිකයන් පිරි කණ්ඩායමට නායකත්වය පැවරුවේ වයස අවුරුදු 24 ට ලගාවෙමින් සිටි ජාවෙඩ් මියන්ඩඩ් වෙතය. උපතින්ම පිටියේ කුකුල් කේන්තිකාරයෙකු වූ කරච්චි නුවරින් දායාද වූ මේ ප්‍රහාරකයා ඒ වනවිටත් ලෝකයේ අවධානය දිනා සිටියේ අදටත් නොබිදුනු වසර 40 ක් පැරණි ලොව ළාබාලතම ටෙස්ට් දිත්ව ශතකයේ හිමිකරු ලෙසය.

ප්‍රතිවාදී  කැන්ගරු පිලත් කරට කරය. තම හිස වටා සුදු පටියක් පැළද වේග පන්දුවෙන් ලොවක් භීතියට පත්කළ ඩෙනිස් ලිලී කණ්ඩායමේ ප්‍රබලම  තුරුම්පුවකි. වේග පන්දු යවන්නන්ට රජ දහනක් වූ පර්ත් විකට්ටුවේ ලිලිගේ අභියෝගය සුළු පටු නොවීය. නමුත් තම පිතිකරණ හැකියාව මත සෙමින් ලකුණක් ලිලි හමුවේ ලත් ජාවෙඩ් පන්දු යවන්නාගේ අන්තය වෙත ඇවිදයමින් තිබුණි. පිතිකරු උසිගැන්වීමේ කලාව හොදින් ප්‍රගුණ  කර සිටි ලිලි ජාවෙඩ් ගේ ඇගේ යන්තමින් වදින්නේ උවමනාවෙන්මය. ලිලි ගේ උපාය හරියටම වැඩකළේය. එතෙක් තැන්පත්ව සිටි මියන්ඩඩ් ආරෝවක පැටලෙන්නට වැඩි වෙලා ගියේ නැත. කටින් වාද කල දෙදෙනාගෙන් ඉස්සර වූ යේ ලිලිය. මෙය ක්‍රිකට් තරගයක් බව අමතක වූ ඩෙනිස් ලිලි පාදයෙන් ජාවෙඩ් වෙත පහරක් එල්ල කලේය. සැනෙකින් තම පිත්ත ඉහලට ඔසවා ඩෙනිස් ලිලි වෙත ජාවෙඩ් කඩා පැන්නත් විනිසුරු සහ ඕස්ට්‍රේලියානු  ක්‍රීඩක  මැදිහත්වීම මත සියල්ල යටපත් විය. පසුදා ඕස්ට්‍රේලියානු  පුවත් පත් තලු මරමින් ජාවෙඩ් මරා දැමුවත් ගැටුමට මුලපිරුවේ ඩෙනිස් ලිලි බව හිතා මතාම හෝ අමතක කර තිබුණි. නමුත් ජාවෙඩ් මියන්ඩඩ් යනු ගිනි කන්දක්ම බව ඔහුද  අවස්ථා  කීපයකදීම පසුවත් පෙන්වූ බැවින් එදා ඇලවූ කරච්චි ත්‍රස්තවාදියා කළු ලේබලය පසුවටත් වලංගු විය.

1986 ශ්‍රී  ලංකා සංචාරයේ  දෙවන ටෙස්ට් තරගය CCC පිටියේ පැවැත්වෙමින් තිබුණි. පළමු ඉනිමේ ලකුණු නොලබා දැවී යාම ජාවෙඩ් වෙත මදි පුංචිකමක් විය. දෙවන ඉනිමත් ශ්‍රී  ලංකාවට වඩා ලකුණු 141 පිටුපසින් සිට ඇරබු බැවින් සහ ජාවෙඩ් අන්තයක හුදකලා කරමින් සෙසු පිතිකරුවන් පෙරහරක් මෙන් දැවී යන්නට වූ බැවින් ඔහුට දැනුනු පීඩනය සුළු පටු නොවීය. ඒ වන විටත් ප්‍රේක්ෂකාගාරයෙන්  ජාවෙඩ් වෙත උසුළු විසුළු අඩුවක් නොවීය. රවී රත්නායකගේ පන්දුවකට කඩුල්ල මුවා කල වගට විනිසුරු ලබා දුන් තීරණය ජාවෙඩ් දැඩිව ප්‍රතික්ෂේප  කලත් විසිසුරු තීරණය අභියෝගයට ලක් කල නොහැකි විය. නොනවතින හු හඩක් මැද හතරේ සීමාව පසු කල මේ කේන්තිකාරයා සැනෙකින් CCC පඩිපෙළ නැග පිත්ත අමෝර ගත්තේ තමන්ට සද්දේ දැමූවේ කව්රුදැයි අසමිනි. ජාවෙඩ් සමග වැඩිදුර ගැටෙන්නට වඩා පාකිස්ථානයට එරෙහිව ලබන පළමු ටෙස්ට් ජය සමරන්නට ප්‍රේක්ෂකාගාරය  සුදානම්ව සිටි බැවින් සියල්ල එතෙකින් නිමා විය.

පිටියේ කොතරම් ඉක්මන් කාරයෙකු උවත් ජාවෙඩ් ඇතැම් විටක හොද රසකාමියෙකුද විය. 1992 ලෝක කුසලානයේ ඉන්දීය තරගය අතර තුර කඩුලු රකින කිරාන් මොරේ නිරන්තරව ජාවෙඩ් අවුස්සන්නට උත්සහ කලේය. නමුත් ඒ වන විට අත්දැකීම් අතින් මෝරා සිටි ජාවෙඩ් ලකුණක් සොයා යන්නට ගත් උත්සාහය මගහැරුණු විට කිරාන් මොරේට ඉදිරියෙන් තුන් වතාවක් උඩ පනිමින් කල රංගනය කලකට අමතක නොවන්නකි.

ජාවෙඩ් මියන්ඩඩ් නම් ප්‍රහාරකයා අලි ජින්නාගේ රටේ රජෙකු වන්නේත් ගාන්ධිගේ රටේ ඇත්තන්ට ත්‍රස්තයකු වන්නේත් 1986 සාජා පිටියේදීය.එය ඔස්ට්‍රේසියා කුසලාන අවසන් මහා තරගයයි.සාජා පිටිය පමණක් නොව කාශ්මීර දේශ සීමාවද රත්වී තිබුනේ ඉන්දු – පාකිස්ථාන අවසන් මහා තරගයක් නිසාවෙනි. අවසන් පන්දුව දක්වා රටවල් දෙකක් ගිනියම් කල තරගයේ කුසලානය දිනන්නට පාකිස්ථානයට ලකුණු හතරක් අවැසි විය.එවකට ක්‍රිකට් පිටියේ එවැනි අවසානයක් ලෝකය දැක නොතිබුණි.අවසන් පන්දුවට චේතන් ශර්මා ඉදිරියේ යෝධ හයේ පහරක් ගැසූ මියන්ඩඩ් මුළු භාරතයම කදුලින් තෙත් කළේය.

කොට්ටෝරුවා කෙසෙල් ගසට කොටපු දාට සියල්ල කපෝති කිව්වා සේ කෙරුම්කාර ජාවෙඩ් ඉල්ලන් කාපු ටෙස්ට් තරගය  1990 ඇඩිලේඩ් තරගයයි. පන්දු යවන්නා ඝන උඩු රැවුලක් හිමි මර්වි හියුස් ය. ඔහු අසලට ගිය මියන්ඩඩ්
” ඔබ හරි මහත බස් කොන්දාස්තර කෙනෙක් නේ ” යැයි පවසමින් වහසි බස් දෙඩීය. පන්දු කීපයකට පසු මර්වි හියුස් හමුවේම මියන්ඩඩ් දැවී ගියේය. සැනෙකින් හඩ අවදි කල මර්වි ” කරුණාකර ටිකට්ස් ගන්න ” යැයි පැවසූ අතර මේ සිදුවීම කවදත් ජාවෙඩ් මියන්ඩඩ් වෙත ඇස යොමා සිටි බටහිර මාධ්‍ය වෙත රස පුවතක්ම විය.

තම ටෙස්ට් තරග දිවියේ  දිත්ව ශතක 6 ක් සමග පරිපුර්ණ වූ ජාවෙඩ් 1983 හයිද්‍රබාද් ටෙස්ට් තරගයේ ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 280 ක් ලබා සිටි මොහොතේ කණ්ඩායම් නායක ඉම්රාන් ඛාන් හදිසියේ ඉනිම අත් හිටුවන්නට කල තීරණය සියල්ලන් පුදුමයට පත් කරන්නක් විය. නමුත් එදා තමන්ට ත්‍රිත්ව ශතකයේ අහිමිවීම ගණනකට නොගත් ජාවෙඩ් 1992 ලෝක කුසලානය දෝතට ගන්නට ඉම්රාන් වෙත සහය දුන්නේ අවසන් තරගයේ තීරණාත්මක අර්ධ ශතකයක්ද ලබමිනි. ඇතැමුන්ට කළු චරිතයක් උවත් ජාවෙඩ් මියන්ඩඩ් ලෝක ක්‍රිකට් පිටියේ ඉතුරු කල මතක කන්දරාව වර්ණ රැසකින් ඔපවත්ව ඇති බවනම් සහතිකය.

fb_img_1475307753525

fb_img_1475307743491

– මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE