ජාතික මහා ක්‍රීඩා උලෙලේ ශූරතාව බස්නාහිරට

39
0

නව ශ්‍රී ලංකා වාර්තා 4 ක්‌ මෙන්ම නව තරගාවලි වාර්තා 4 ක්‌ වාර්තා පොත් අතරට එක්‌ කරමින් 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ඊයේ (2දා) යාපනය දොරෙයියප්පා ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය.

ඒ අනුව මෙවර තරගාවලියේ දක්‌ෂතම ක්‍රීඩකයා වශයෙන් දුර පැනීමේ ඉසව්වෙන් දස්‌කම් දැක්‌වූ එම්. එම්. නික්‍රාන් සම්මාන හිමිකරගන්නා අතරවාරයේ දක්‌ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය නිමාලි ලියනආරච්චි විසින් දිනාගනු ලැබුවේ මීටර් 800 ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්‌ හා මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්‌ථාන දිනාගැනීම හේතුවෙනි.

මෙවර තරගාවලියේදී රන් 113 ක්‌, රිදී 74 ක්‌ හා ලෝකඩ පදක්‌කම් 67 ක්‌ සමගින් සමස්‌ථ පදක්‌කම් 234 ක්‌ දිනාගත් බස්‌නාහිර පළාත් කණ්‌ඩායම ශූරතාව දිනාගනු ලැබීය. එහි දෙවැනි ස්‌ථානය රන් 33ක්‌, රිදී 29 ක්‌ මෙන්ම ලෝකඩ 43 ක්‌ සමගින් දකුණු පළාත් කණ්‌ඩායමට හිමිවූ අතර තෙවැනි ස්‌ථානය රන් 28 ක්‌, රිදී 37 ක්‌ හා ලෝකඩ 41 ක්‌ දිනාගත් මධ්‍යම පළාත් කණ්‌ඩායමටත් හිමි විය.

ඊයේ මිටිය විසිකිරීමේ ඉසව්වෙන් නව තරගාවලිය වාර්තාවක්‌ පිහිටුවීමට දකුණු පළාත නියෝජනය කරන මනෝජි අමරසිංහ සමත් වූ අතර එහිදී ඇය විසින් මීටර් 45.85 ක දක්‌ෂතාවක්‌ දැක්‌වීය. දෙවැනි ස්‌ථානය දිනාගත් අයේෂා මධුවන්ති (ඌව) මීටර් 44.82 ක්‌ හා තෙවැනි ස්‌ථානය දිනාගත් අරුණි ලක්‌ෂිකා (බස්‌නාහිර) මීටර් 40.73 ක දක්‌ෂතාවක්‌ දැක්‌වීය.

එමෙන්ම හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සිය පෞද්ගලික හොඳම දක්‌ෂතාව සටහන් කළ වරුණ ලක්‌ෂාන් මීටර් 78.52 ක දුරක්‌ වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක්‌ පිහිටුවනු ලැබීය.

මීට අමතරව ඊයේ පැවැති කාන්තා උස පැනීමේ ඉසව්වෙන් අඛණ්‌ඩව පස්‌වැනි වරටත් රන් පදක්‌කම දිනා ගැනීමට මීටර් 1.67 ක දක්‌ෂතාවක්‌ දැක්‌වූ තරංගා විනෝදනීට (දකුණ) හැකි වූවාය. එම ඉසව්වේ දෙවැනි ස්‌ථානය තරංගනීට වඩා තවත් සෙන්ටිමීටර් තුනක්‌ පසුපසින් සිටි උතුරු මැද පළාතේ එම්.එම්. මධුෂානිට (මීටර් 1.64)හා තෙවනි ස්‌ථානය මීටර් 1.61 ක්‌ දක්‌ෂතාවක්‌ දැක්‌වූ රංදි හිමංසාට (බස්‌නාහිර)හිමි විය.

තරගාවලියේ තෙවැනි දිනය වූ පෙරේදා (01 දා) වසර 24 ක්‌ පැරණි මීටර් 800 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළීමට දකුණු පළාත නියෝජනය කළ නිමාලි ලියනආරච්චිට හැකි විය. ඇය විසින් මිනිත්තු 2.03.5 කාලයකින් අදාළ ඉසව්ව නිමාකළ අතර එහි පැවැති වාර්තාව සටහන්ව තිබුණේ මිනිත්තු 2.03.85 ක්‌ වශයෙනි. එය 1992 වසරේදී ධම්මිකා මැණිකේ විසින් පිහිටුවා තිබුණි.

එම ඉසවේ දෙවන හා තෙවන ස්‌ථාන පිළිවෙළින් ගයන්තිකා අබේරත්නට (දකුණ – මි. 2.03.7) හා ඒ.ඩී. සඳකාන්තිට (දකුණ – මි. 2.08.4) හිමි විය.

රිටි පැනීමේ ඉසව්වේ තමන් සතුව පැවැති ශ්‍රී ලංකා වාර්තාව නැවත වරක්‌ අලුත් කළ ඉෂාර සඳරුවන් පැවැති වාර්තාව වූ මීටර් 5 ක උසට වඩා තවත් සෙන්ටිමීටර් 10 ක (මීටර් 5.10) උසක්‌ තරණය කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේය.

Comments

comments

SHARE