පාපැදි විධායක සභාවට රතු එලියක්

59
0

දිස්‌ත්‍රික්‌ක හතරක පාපැදි සංගම්වල 2016 වසර සඳහා පාපැදි සම්මේලනය පිහිටුවීම නීත්‍යානුකූල බවට අධිකරණ තීන්දුවක්‌ දී තිබුණත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා එය පිළිනොගන්නා බවට අදාළ දිස්‌ත්‍රික්‌ සංගම්වල නියෝජිතයෝ ‘දිවයින’ හමුවේ පැවසූහ. අදාළ දිස්‌ත්‍රික්‌ සංගම් වනුයේ කළුතර, කොළඹ, ගම්පහ සහ රත්නපුර වේ.

පවතින තත්ත්වයේ වෙනසක්‌ නැතිව මේ අයුරින් ඉදිරියටත් පවතින්නේනම් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ විධායක සභාවට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කරන්න සූදානමින් සිටින බවටත් දිස්‌ත්‍රික්‌ නියෝජිතයෝ පවසති.

කෙසේ නමුත් ඉකුත් පෙබරවාරි මාසයේ සිට මේ පිළිබඳ විටින් විට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය දැනුවත් කර තිබුණ නමුත් මේ වන විට කිසිදු පරීක්‌ෂණයක්‌ හෝ පැවැත්වීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

මේ අයුරින් යම්කිසි දිස්‌ත්‍රික්‌ සංගමයක්‌ එහි ප්‍රධාන සංගමය මගින් පිළිනොගන්නා අවධියක අදාළ දිස්‌ත්‍රික්‌ සංගමය මොනයම් කටයුත්තක්‌ කළත් එහි නීතිමයභාවයක්‌ හිමි වන්නේ නැත. ඒ හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන තරගාවලි වෙනුවෙන් ඒ ඒ දිස්‌ත්‍රික්‌කවල ක්‍රීඩකයන් තේරීමේදී පවා විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුවේ.

මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ දිස්‌ත්‍රික්‌ සංගම් නියෝජිතයෙක්‌ ‘අපි 2016 වසරට අදාළ දිස්‌ත්‍රික්‌ පාපැදි සම්මේලනය පිහිටුවල ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය දැනුවත් කළත් සම්මේලනයේ සභාපතිවරයා එය පිළිගන්න කැමති වුණේ නැහැ. ඒ නිසා අපි එතගුමාට විරුද්ධව නඩුවක්‌ දැම්මා.

අවසානයේ සභාපතිවරයා පිළිගත්තා එය නීත්‍යානුකූලයි කියලා. ඒ නිසා අපි නඩුව ඉල්ලා අස්‌කර ගත්තා. නමුත් මේ වන තෙක්‌ අපිව ලිඛිතව හෝ විධායක සභා රැස්‌වීමකදී පිළිගත් බවට දැනුවත් කරලා නෑ. ඒ වගේම දැන් කියනවා,මේ දිස්‌ත්‍රික්‌ සංගම් පිළිනොගැනීමට ගත් තීරණය පාපැදි සම්මේලනයේ විධායක සභාව ගත් තීරණයක්‌ලු.

ගොඩක්‌ කල් බලාගෙන හිටියා මේකට විසඳුමක්‌ ලැබෙයි කියලා. නමුත් තවම ඒ පිළිබඳ පරීක්‌ෂණයක්‌වත් තියන්න ඔවුන් කටයුතු යොදා නැහැ. ඒ නිසා අපි නැවතත් නීතිමය වශයෙන් කටයුතු කරන්න හිතාගෙන ඉන්නේ. ඉදිරියේදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ විධායක සභාවට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.’ යි කීය.

Comments

comments

SHARE