නවසීලන්තය යලි පරදී

120
0

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 178 ක ජයක් අත්කරගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ  සමත් විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. ඉනිම් දෙකේදීම නොදැවී අර්ධ ශතක ලබාගත් ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සහා තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 376 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 197 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. රවින්ද්‍ර ජදේජා, මොහොමඞ් සාමි සහ රවිචන්ද්‍රන් අෂ්වින් කඩුලු 3 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු ටොම් ලේතම් (74) සමත් වුවත්, නවසීලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවීය. රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ රිදිමන් සහා අතට උඩපන්දුවක් දෙමින් දැවී යනවිට ලේතම්ගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් වී තිබිණ.

නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මාටින් ගප්ටිල් ලකුණු 24 කට පිටියෙන් ඉවත් කිරීමට රවිචන්ද්‍රන් අෂ්වින් සමත් වූ අතර රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ දැවීයන විට හෙන්රි නිකලස් ලබාසිටියේද ලකුණු 24 ක් පමණි.

මුලු ලකුණු සංඛ්‍යාව 115 ක් වන විට නවසීලන්ත කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 4 ක් ලබාසිටි රොස් ටේලර් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට අෂ්වින් සමත් විය. හතරේ පහර 4 ක් සමගින් ලකුණු 32 ක් ලබාසිටි ලුක් රොන්කි දැවීගියේ ජදේජාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

තරගයේ සිව්වැනි දිනය වූ අද (3 වැනිදා) තරගය ආරම්භ කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 227 ක් ලබා සිටියේය. දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 23 ක් ලබා සිටි බුවනේෂ්වර් කුමාර් දැවීගියේ නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ හෙන්රි නිකලස් අතට උඩපන්දුවක් දෙමිනි.

ඉන්දීය කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි මොහොමඞ් සාමිට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ටේ‍රන්ට් බෝල්ට් ඉඩ නොදුන් අතර ටොම් ලේතම් අතට උඩපන්දුවක් දෙමින් ඔහු 1 ලකුණකට දැවී ගියේය.

ඉන්දියාව – පළමු ඉනිම 316
නවසීලන්තය – පළමු ඉනිම 204
ඉන්දියාව – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 263
(ෂිකාර් ධවාන් 17, විරාට් කෝලි 45, රෝහිත් ෂර්මා 82, රිදිමන් සහා නොදැවී 58, බුවනේෂ්වර් කුමාර් 23, ටේ‍රන්ට් බෝල්ට් 38/3, මැතිව් හෙන්රි 59/3, මිචෙල් සෑන්ට්නර් 60/3)
නවසීලන්තය – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 197
(ටොම් ලේතම් 74, මාටින් ගප්ටින් 24, හෙන්රි නිකලස් 24, ලුක් රොන්කි 32, මැතිව් හෙන්රි 18, රවින්ද්‍ර ජදේජා 41/3, මොහොමඞ් සාමි 46/3, රවිචන්ද්‍රන් අෂ්වින් 82/3)

Comments

comments

SHARE