ඔස්ට්‍රේලියාවට ලැජ්ජා සහගත පරාජයක්

979
0

ඔස්ට්‍රේලියානුවන්ට අභාග්‍යසම්පන්න සති අන්තයක අමිහිරියාව විඳ ගැනීමට සැලැස්සූ සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ජොහැනස්බර්ග් නුවර නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 142 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ 2-0 කින් ඉදිරියට ගියහ.

අන්තර්ජාතික එක්දින පිටියේ නොම්මර එකේ කණ්ඩායම ලෙස දකුණු අප්‍රිකාවට ගොඩබට ඔස්‌ට්‍රෙලියානුවන්ගේ කටුක සති අන්තය ආරම්භ වූයේ පසුගිය සිකුරාදා සෙන්චූරියන් හී පැවැති පළමු එක්දින තරගය කඩුලු 6 කින් පරාජය වීමෙනි. ඊයේ ලද දෙවැනි එක්දින තරගයේ පරාජය ඊටත් වඩා නින්දා සහගත එකක් බවට පත්වූයේ එය සංචාරකයන්ගේ පස්වැනි විශාලම එක්දින පරාජය  වීම නිසාය.

මේ වසර මුල් භාගයේදීම ඔවුන් නවසීලන්තයට ලකුණු 159 කින් පරාජය වූ අතර ඊට පෙර වසර 1987 දී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 164 කින් ද, 2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 196 කින් ද, 1986 දී යළිත් නවසීලන්තය හමුවේ ලකුණු 206 කින්ද ඕස්ට්‍රේලියානුවන් පරාජය වී තිබිණි.

කාසියේ වාසිය ඔස්ට්‍රේලියානුවන්ට  හිමිවූවත් පළමුව පන්දුවට පහරදීමට ඇරියුම් ලැබීමෙන් පසු දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 6 කට රැස් කළ ලකුණු 361 ට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව ඕවර 37.4 කදී  ලකුණු 219 කට දැවී ගියහ.

දකුණු අප්‍රිකානුවන්ගේ දැවැන්ත ඉනිම වර්ණවත් කළ වැඩ බලන නායක ෆෆ් ඩු ප්ලෙසිස්  පිත්ත බිම තැබුවේ ලකුණු 111 ක්ම රැස් කළාට පසුවය.

පළමු තරගයේ පෙරළිකාර ඉනිමක් ක්‍රීඩා කළ ක්වින්ටන් ඩි කොක්ගේ ඉනිම වැඩි කාලයක් මිඩංගු නොකොට කඩා ගැනීමට ඕස්ට්‍රේලියාව   සමත්වූවත් ඒ වනවිටත් ආරම්භක පිතිකරුවන් ඕවර 11ක් තුල පළමු කඩුල්ලට ලකුණු 70 ක් ගොඩනගා තිබිණි. කෙසේවෙතත් ඉන් අනතුරුව ඊයේ දිනය තමගේ නමට වෙන් කරගත් සෙයක් පෙන්වූ ඩු ප්ලෙසිස් සිය ආරම්භක පිතිකරු සගයා වන රිලී රුසොව් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 76 ක් එක් කළේ අඩපණවූ ඕස්ට්‍රේලියානු  පන්දු යවන්නන් එක්ක සෙල්ලම් කරමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 146 ක්ව තිබියදී රූසොව් ආපසු ක්‍රීඩාගාරයට හරවා යවන්නට ජෝන් හේස්ටිංග්ස් සමත්වූවත් ඒ වෙද්දි රුසොව් පිට පිට දෙවැනි එක්දින අර්ධ ශතකයත් වාර්තා කොට හමාරය. ඉන් අනතුරුව  ජේ. පී. දුමිනි සමග එක්වූ ඩු ප්ලෙසිස් නිව් වොන්ඩර්ස් පිටියට රැස් වූ ක්‍රීඩාලෝලීන් හමුවෙ ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන්ට එරෙහිව මතක හිටින ඉනිමක් ක්‍රීඩා කළේය.

තුන්වැනි කඩුල්ලට ලකුණු 150 ක සම්බන්ධතාවක් ගොඩනගමින් විශිෂ්ට ශතකයකට හිමිකම් කී ඩු ප්ලෙසිස් පන්දු 84 කදී හතරේ පහර 13 කින් සිය ශතකය සම්පූර්ණ කරද්දී සිය නායකයාට නොදෙවැනි ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ දුමිනි හතරේ පහර 8 ක් සමග සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 44 කිනි.

ඕස්ට්‍රේලියානුවන්ගේ පන්දු යැවීමේ බලඈණිය ශක්තිමත් කිරීමට ස්කොට් බෝලන්ඞ් හා ඩැනියෙල් වොරල් වෙනුවට අලුතින් ගෙන්වූ 25 හැවිරිදි ක්‍රිස් ටි්‍රමේන් සහ 27 හැවිරිදි ජෝ මෙනී ඉනිමේ ආරම්භක පන්දු යවන්නන් ලෙස කටයුතු කරමින් සිය මංගල තරගයේදීම රිදෙන්නට පහර කෑවෝය. යන්තමින් කඩුල්ලක් දවාගත් ටි්‍රමේන්ගේ ඕවර 10 ට ලකුණු 78 ක් වැදුණු අතර කඩුලු නොලැබූ මෙනීගේ ඕවර 10 නිමාවට පත්වූයේ ලකුණු 82 ක්ම තිළිණ කළාට පසුවය.

කෙසේවෙතත් දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිම 361 කින් නැවත්වීමට ඕස්ට්‍රේලියානුවන්  සමත්වූයේ මේ දෙදෙනාගේ දැවීයාමෙන් පසුව අවසන් පන්දු ඕවර කිහිපයේදී හේස්ටිංග්ස් සහ මිචෙල් මාෂ් එක්ව සෙසු පිතිකරුවන් තරමක් මෙල්ල කරගැනීමෙනි.

ලකුණු හඹායාම ආරම්භ කළ ඕස්ට්‍රේලියානුවට නිව් වොන්ඩර්ස් තණතීරුවේ පන්දු යවන හැටි කියා දුන් දකුණු අප්‍රිකානුවන් 11 වැනි ඕවරය නිමාවෙද්දී පිතිකරුවන් තිදෙනකුම ක්‍රීඩාගාරයට හරවා යැව්වේ ලකුණු 55 ක් ඇතුලතදීය. ආරම්භක පිතිකරු ඒරාන් ෆින්ච් එක් ලකුණකටත්, නායක ස්ටීවන් ස්මිත් ලකුණු 14 කටත්, ජෝර්ජ් බේලි ලකුණු 9 කටත් සීමා කළ දකුණු අප්‍රිකානු පළමු පන්දු යවන්නන් තිදෙනා කඩුල්ල බැගින් සමගියෙන් බෙදා ගත්හ. ඔවුන් අතරින් සංචාරකයන්ට වැඩිම පීඩනය දැමුවේ 21 හැවිරිදි කගීසෝ රබාඩාය. ඔහුගේ වේගයත්, දෝලනයත් ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් අන්ද මන්ද කිරිමට ප්‍රමණවත් විය.

කඩුලු අතර සම්බන්ධතාවක් ගොඩනැගීමට උත්සාහ කළ සෑම අවස්ථාවකදීම කඩුල්ලක් දවාලමින් මැනවින් තරගයේ පාලනය නඩත්තු කළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු අවසන් කඩුලු 5 ම ලකුණු 36ක් තුලදී බිම දැමූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 114 දී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ විගස ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් දැවීයාමෙන් පසුව ට්‍රැව්ස් හෙඞ් සහ මැතිව් වේඞ් එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 69 ක් එක් කරන්නට සමත්වූවත් පිට පිට ඕවර 2 කදී දෙදෙනාම දැවීයාමෙන් පසුව තරගයට ජීවයක් කැවීමට කිසිවකුට හැකිවූයේ නැත.

වේන් පානෙල් සහ ඇන්ඩිලි පෙලුක්වායෝ එක්ව මැදපෙළ එහෙම පිටින්ම කඩා දැමූහ.  තරගයේ ජයග්‍රහණය පෙනි පෙනී උද්දාමයට පත්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ උද්යෝගය ඉහළ ගියේ කඩුලු 3 ක් බිඳ දැමූ පානෙල් ඒ සෑම අවස්ථාවකදීම පොග්බා එස්කියු මෝස්තරයෙන් සතුට සමරන්නට වීම නිසාය.

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ඕවර 50 කදී ලකුණු 361
(ක්වින්ටින් ඩි‘ කොක් 22, රිලී රුසොව් 75, ෆෆ් ඩු ප්ලෙසිස් 111, ජේ.පී. ඩුමිනි 82, ඬේවිඞ් මිලර් 26, ජෝන් හේස්ටිංග්ස් 57/3. මිචෙල් මාෂ් 68/2)

ඕස්ට්‍රේලියාව   – සියලුදෙනා දැවී ඕවර 37.4කදී ලකුණු 219
(ඬේවිඞ් වෝනර් 50, ට්‍රැවිස් හෙඞ් 51, මැතිව් වේඞ් 33, ජෝන් හේස්ටිංග්ස් 23, කගීසෝ රබාඩා 31/2, වේන් පානෙල් 40/3, ඇන්ඩිලි පෙලුක්වායෝ 59/2)

Comments

comments

SHARE