කොදෙව් ඒ පළමු ඉනිම ලකුණු 276කට සීමා වෙයි

192
0

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඇරැඹි පළමු නිල නොවන ටෙස්‌ට්‌ තරගයේ පළමු දිනයේදීම බටහිර ඉන්දීය කොදෙව් ඒ ඉනිම ලකුණු 276 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ඒ පන්දු යවන්නෝ සමත්වූහ.

රෝස පැහැ පන්දුවකින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම පළමු පෙළ තරගය වූ මෙම තරගයේදී ශ්‍රී ලංකා ඒ පිල එක්‌ පන්දුවාරයක්‌ පමණක්‌ ක්‍රීඩා කළද ලකුණු ලබා ගැනීමකින් තොරව දිනය අවසන් විය.

කොදෙව් පිලේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 125 ක සම්බන්ධතාවක්‌ ගොඩනැංවූ සමාරා බෲක්‌ස්‌ (65) සහ උප නායක විෂෝල් සිං (96) කොදෙව් පිලට කිසියම් ස්‌ථාවරත්වයක්‌ ගෙන එන ලද පිතිකරුවන් බවට පත්වූහ.

මෙම තරගය නැරඹීම සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ප්‍රේක්‌ෂකයන් නොපැමිණි සේයාවක්‌ දිස්‌වද්දී පන්දු යවන්නන් ලෙස සාර්ථක වූ අසේල ගුණරත්න ලකුණු 27 කට කඩුලු 3 ක්‌ දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු සහ චරිත් අසලංක දෙදෙනා කඩුලු 2 බැගින් බෙදාගත්හ.

තම මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළ ළහිරු කුමාර යවන ලද පළමු පන්දුවෙන්ම කඩුල්ලක්‌ දවා ගැනීමට සමත්වීම දිනයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය. ඒ අනුව රෝස පැහැ පන්දුවකින් කඩුල්ලක්‌ දවාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද ළහිරු කුමාර ඉතිහාස ගත වනු ඇත.

රෝස පැහැති පන්දුවට හුරුවීම සඳහා මෙම තරගයට රෝස පැහැති පන්දුව යොදා ගැනීමට දෙපිළම එකඟතාවය පළ කර තිබේ. ඉදිරියේදී ටෙස්‌ට්‌ තරග සඳහාද රෝස පැහැති පන්දුව යොදා ගැනීමේ සූදානමක්‌ පවතින අතර එම තරග දිවා/රාත්‍රී ටෙස්‌ට්‌ තරග වශයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

ලකුණු සාරාංශය/ බටහිර ඉන්දීය කොදෙව් ඒ පළමු ඉනිම පන්දුවාර 86.4 කදී ලකුණු 276 යි (පවෙල් 36, බෲක්‌ස්‌ 65, සිං 96, රෝච් (නොදැවී) 45, අසේල ගුණරත්න 27/3, අසිත ප්‍රනාන්දු 35/2, චරිත් අසලංක 53/2)

ශ්‍රී ලංකා ඒ ඉනිම කිසිවකු නොදැවී ලකුණු 00 යි.

Comments

comments

SHARE