සිම්බාබ්වේ යන්න තේරුනොත් BPL තහනම් – ජයසූරිය

1739
0

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (බී.පී.එල්.) ලබන නොවැම්බර් මස 4දා ආරම්භ වීමට නියමිත අතර විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් 23 දෙනකු ඇතුළුව මෙවර තරගාවලියට යොදවා ගැනීමට නියමිත ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 85කි.

මෙවර තරගාවලියට අදාළ කණ්ඩායම් නාම ලේඛනය කෙටුම්පත් කිරීමේ කටයුතු පසුගිය සතියේ පැවැති අතර ඒ අනුව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් 13 දෙනකුද 2016 වසරේ බී.පී.එල්. ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතය.

බැරිසල් බුල්ස්, චිතගොං වයිකිංස්, කොමිල වික්ටෝරියන්ස්, ඩකා ඩයිනමයිට්ස්, කුල්නා ටයිටන්ස්, රංග්පූර් රයිඩර්ස් හා රාජ්ශාහි කිංස් යන කණ්ඩායම් 7 මෙවර තරගාවලියේදී බී.පී.එල්. විස්සයි-20 තරග බිමට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් සමුගත් මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙන අතර, වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සීක්කුගේ ප්‍රසන්නද එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය. එසේම දිල්ෂාන් මුණවීර බැරිසල් බුල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර, චිතගොං වයිකිංස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් වන්නේ චතුරංග ද සිල්වා හා ජීවන් මෙන්ඩිස්ය. තිසර පෙරේරා හා නුවන් කුලසේකර කොමිල වික්ටෝරියන්ස් පිලටත්, දසුන් ශානක, සචිත්‍ර සේනානායක හා ගිහාන් රූපසිංහ යන තිදෙනා රංග්පූර් රයිඩර්ස් පිලටත් තෝරාගෙන ඇති අතර මිලින්ද සිරිවර්ධන හා උපුල් තරංග නියෝජනය කරන්නේ රාජ්ශාහි කිංස් කණ්ඩායමයි.

කුල්නා ටයිටන්ස් හා රාජ්ශාහි කිංස් යන කණ්ඩායම් දෙක මෙවර නවකයන් ලෙස බී.පී.එල්. තරගාවලියට එක්ව සිටින අතර චිතගොං වයිකිංස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල පිතිකරුකු වන ක්‍රිස් ගේල් මෙම තරගාවලියේදී තරග 5කට පමණක් ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුම් අස්සන් කර ඇතැයිද වාර්තා වේ. ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ කලද ශ්‍රී ලංකා-සිම්බාබ්වේ-බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට් තරගාවලියද ලබන නොවැම්බර් 14දා හරාරේ නගරයේදී ආරම්භ වන බැවින් බී.පී.එල්. සඳහා තරග වදින ක්‍රීඩකයන් කිහිප දෙනකුටද මෙම තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල සමඟ එක්වීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ බී.පී.එල්. සඳහා යන ක්‍රීඩකයන්ට විරෝධතා නොදැක්වීමේ සහතිකය (එන්.ඕ.සී.) නිකුත් කිරීම පිළිබඳව ක්‍රිකට් ආයතනය තමන්ගෙන් නොවිමසූ බවයි. එහෙත් සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට තෝරාගන්නා ක්‍රීඩකයන් අනිවාර්යයෙන්ම බී.පී.එල්. නොගොස් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය යුතු බවද ජයසූරිය මහතා වැඩිදුරටත් පැවැසීය.

 

Comments

comments

SHARE