සුළං කුරුල්ලා

333
0

එය 1974 ටෙහෙරාන් ආසියානු ක්‍රීඩා උළෙලයි. ඒ වනවිටත් 400 m රන් පදක්කම වාර්තාවක් තබා W විමලදාස රටට දිනා දී තිබුණි. 200m ඉසව්ව වෙනුවෙන් පදක්කමක බලාපොරොත්තු දල්වා සිටියේ තවත් කෙටි දුර ධාවනයේ ශුරයකු වූ සුනිල් ගුණවර්ධනයි. 1972 මියුනික් ඔලිම්පික් උළෙලේ 200m දෙවන වටයටද සුදුසුකම් ලබා තම උපරිමයේ සිටි සුනිල්ට රන් හෝ රිදී පදක්කම් අතේ දුරිනි. නමුත් ඉසව් කාලසටහන අනුව  400m සහය දිවීමේ තරගය සමග 200m දිවීම ප්‍රායෝගික නොවීය. සුනිල් ගුණවර්ධන හමුවට පැමිණි කණ්ඩායම් කළමනාකරු ඔහුගෙන්ම තීරණයක් බලාපොරොත්තු විය. තනිව ලබන ජයග්‍රහණයකට වඩා කණ්ඩායමක් ලෙස පදක්කමක් දිනා රටක් දීප්තිමත් කිරීම මහත් ගෞරවයක් ලෙස සැලකූ 25 හැවරිදි මේ යෞවනයා පැකිලීමකින් තොරව 200m අතහැර දැමීය.

කෝසල සහබන්දු සහ  ඒ. ප්‍රේමචන්ද්‍ර ගේ පළමු විදෙස් සංචාරය එය විය.දෙදෙනාම රැගෙන ගිය ධාවන පාවහන් ගැලපුනේ තණකොළ මතින් දිවීමටය.එය කෘතීම ධාවන පථයට ගලපා ගැනීමේ අභියෝගය සමග සුනිල් ගුණවර්ධනත් W විමලාදසත් හිතේ සවිය පෙරට තබා සහය දිවීමේ තරගයට එක් වුයේ දැඩි බලාපොරොත්තුවකිනි. ප්‍රේමචන්ද්‍ර , සහබන්දු නිවැරදිව රැගෙන ආ යෂ්ටිය සුනිල් ඉදිරියට රැගෙන ගිය අතර ඒවනවිටත් 400m ආසියානු ශුරයා වූ විමලදාස ඉන්දීය සහ ඉරාන කණඩායම් පසුපසට කරමින් රන් පදක්කම් දිනුවේ නව වාර්තාවක්ද සමගිනි. එය ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ඉතිහාසයේ අමරණීය මොහොතක් වූ අතර රට පෙරට තබා  එදා සුනිල් ගත් තීරණය වඩා ගෞරවනීය වන්නේ වසර 42 ක් පසුකරන මේතාක් අපි යලි කිසිදු දිනක 400m පිරිමි සහය දිවීමේ ආසියානු රන් පදක්කමක් නොලත් බැවිනි.

unnamed-1ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ඉතිහාසයේ 100m තප්පර 11 ට අඩුවෙන් නිම කළ පළමු පාසල් ශිෂ්‍යා සුනිල් ගුණවර්ධනයි. එවකට ඔහුගේ සිහිනය වුයේ තප්පර 10.8 කට තිබු 100m ලංකා වාර්තාව බිද හෙලීමය.තම කාමරය පුරා තප්පර 10.8 සටහන් කළ පුවරු කීපයක් පුරවා ගත් සුනිල් දිවා රෑ පැතූ පැතුම් සපල කරමින් තප්පර 10.5 ක් ලෙස ලංකා වාර්තාව එදා අලුත් කලේ පත්තර පිටු රැසක් පුරවමිනි.

1968 කොළබ විශ්ව විද්‍යාල පිටියේ පැවති තේරීම් තරගයේදී 200m ඉසව්වේ එතෙක් ඩන්කන් වයිට් සතුව තිබු ලංකා වාර්තාව තප්පර 21.6 ක් ලෙස අලුත් කළ සුනිල් එදා එම තරගාවලියේ 100m කාන්තා තරග ඉසව්වේ නව ලංකා වාර්තා බිහිකළ කේ . ජී . භද්‍ර සමග වසර 10 කට පසු ජීවිතයේ නව පිටුවක් පෙරලන්නේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩාවට තවත් දායාද රැසක් සමගිනි.

සුනිල් – භද්‍ර සුසංයෝගය මෙරට මළල ක්‍රීඩාවේ තවත් දීප්තිමත් පරපුරක් නිර්මාණය කිරීම දක්වා වෙහෙසෙන්නේය. අදටත් ආසියානු වාර්තා හිමිකාරියක වන දමයන්ති දර්ශා තම ක්‍රීඩා දිවියේ හැරවුම ලෙස සලකන්නේ සුනිල් ගුණවර්ධන හමුවීමය. ලෝකයේ අලුත්වන මළල ක්‍රීඩාවේ පුහුණු තාක්ෂණය නිරන්තරව සොයා යන්නට පසුබට නොවන සුනිල් මෙරට ක්‍රීඩාවේ පරිපාලන යාන්ත්‍රණයේ සැගවුණු මහා මොළකරුවෙකි.

unnamed

එදා කෙටි දුර ධාවනයෙන් රටක් දිනා “සුළං කුරුල්ලා” ලෙස අන්වර්ථ නම් ලැබූ සුනිල් ගුණවර්ධන අසාවෙන් එකතුකළ  ඉතිහාසගත ආසියානු රන් පදක්කම ඇතුළුව  කැපවීමෙන් දිනු පදක්කම් සියල්ල සොරු රැගෙන ගියේ අනපේක්ෂිත ලෙසිනි. නමුත් ඔහු රට වෙනුවෙන් පෑ වීරත්වයත් අදටත් බෙදනා දැනුම් කන්දරාවත් සොර සතුරන්ට උදුරාගත නොහැකි බවටනම් සහතිකය.

– මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE