සෑම අධ්‍යාපන කලාපයකටම ක්‍රීඩා පාසලක්

90
0

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන අධ්‍යාපන කලාප 98 සඳහාම එක්‌ ක්‍රීඩා පාසල බැගින් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනු ලබන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා පවසයි.

32 වැනි වරටත් එළැඹෙන 13 දා සිට 17 දා දක්‌වා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට යෙදී තිබෙන සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය සම්බන්ධයෙන් පාපන්දු නිවහනේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී ඒ මහතා මේ පිළිබඳ වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

එමෙන්ම ක්‍රීඩා දක්‌ෂතාවන්ට මුල්තැන ලබාදෙමින් නව ක්‍රීඩා ගුරුවරු 5000 ක්‌ බඳවා ගනු ලබන බවට පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා ‘අපි ඉදිරියේදී නව ක්‍රීඩා ගුරුවරු 5000 ක්‌ බඳවා ගන්න අවශ්‍ය කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත් කරන්න අපේක්‌ෂාවෙන් ඉන්නවා. ඒ වගේම කැබිනට්‌ පත්‍රිකාවේ ගුරුවරු තෝරා ගන්නා සුදුසුකම් වෙනස්‌ කරනවා. ක්‍රීඩා ගුරුවරු තෝරා ගැනීමේදී අපි ප්‍රමුඛත්වය ලබාදෙන්නේ ක්‍රීඩා විෂය පිළිබඳ දක්‌ෂයන්ට. මොකද උපාධිය තිබීම පමණක්‌ ක්‍රීඩා ගුරුවරයෙක්‌ වෙන්න සුදුසුකමක්‌ වෙන්නේ නැහැ.

ඒ වගේම අපේ අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන කලාප 98 ක්‌ තියෙනවා. ඒ සෑම කලාපයකටම එක්‌ ක්‍රීඩා පාසල බැගින් ඉදිරියේදී ලබාදෙන්නත් අපි කටයුතු කරනවා.’ යි කීය.

මේ වන විට කුමන ක්‍රීඩාවක්‌ හෝ සෑම පාසල් දරුවෙක්‌ම කළ යුතු බවට වන සංකල්පය මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට හෙතෙම පවසා සිටියේ.

මෙවර සමස්‌ත ලංකා පාසල් තරගාවලිය සඳහා පාසල් 1452 ක්‌ නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 2437 ක්‌ සහ ක්‍රීඩකයන් 2684 දෙනෙක්‌ සහභාගි වීමට නියමිතව තිබේ.

දින 5 ක්‌ පුරා වයස්‌ කාණ්‌ඩ 5 ක්‌ යටතේ පැවැත්වෙන තරගාවලියේ ඒ ඒ වයස්‌ කාණ්‌ඩයන්ගෙන් දක්‌ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තේරීමට නියමිත අතර එසේ තේරීපත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් 20,000 ක මුදලක්‌ද පිරිනැමීමට නියමිතය.

එසේම සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා ඉතිහාසයේ වසර 25කට පසු තරගාවලියට සහභාගි වන තරගකරුවන්ට සහ ගුරුවරුන්ට දිවා ආහාරය ලබාදීමටද සංවිධායකයන් පියවරගෙන තිබේ.

තරගාවලිය පිළිබඳ අදහස්‌ දැක්‌ වූ අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රීඩා විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා ‘අපි මේ තරගාවලිය සඳහා රුපියල් ලක්‌ෂ 80 ක මුදලක්‌ වෙන් කරල තියෙනවා. ඒ වගේම මෙවර තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් සඳහා ඒ අවට පාසල් සූදානම්කර ඇති බවටද’ ඒ මහතා පැවසීය.

කෙසේ නමුත් මෙම තරගාවලියට ඉලෙක්‌ට්‍රොනික කාල ගණන යන්ත්‍ර භාවිතා කරන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දුන් ඒ මහතා ‘මේ තරගාවලියේ ශ්‍රී ලංකා වාර්තා බිහිවීමට තියෙන ඉඩ ගොඩක්‌ අඩුයි. ඒ නිසා ඉලෙක්‌ට්‍රොනික කාල ගණන යන්ත්‍රයක අවශ්‍යතාව දැනෙන්නේ නැහැ.

මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය සතුව පවතින කාල ගණන යන්ත්‍රය කැඩිලා. නමුත් ඉදිරියේදී පාසල් ක්‍රීඩා සඳහා වෙනම යන්ත්‍රයක්‌ ගන්න අපි බලාපොරොත්තු වෙනවා.’ යෑයි කීය.

නෙස්‌ලේ ලංකා සමාගම, ප්‍රීමා ආයතනය සහ ලංකා බැංකුවේ අනුග්‍රහය ඇතිව මෙවර තරගාවලිය පැවැත්වේ.

Comments

comments

SHARE