අමිලගේ ශ්‍රී ලංකා වාර්තාව පිලිගනී

120
0

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඩබ්ලිව්. පී. අමිල ජයසිරි විසින් පිහිටුවනු ලැබූ දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව දින 50කට පසුව ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ විධායක සභාව අනුමත කරයි. පසුගිය අගෝස්තු 16වැනිදා අමිල ජයසිරි මීටර් 8.15ක දුරක් පැන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූ අතර එදින සුළගේ වේගය මැනීමේ විද්‍යුත් උපකරණ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ නොතිබූ බැවින් ශ්‍රී ලංකා වාර්තාවක් නොවන්නේ යැයි තර්ක ගොඩ නැගුණි.

ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ විනිසුරු මණ්ඩලයේ වාර්තාවක් ගෙන්වාගෙන ඇති අතර එය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා වාර්තාව අනුමත කිරීමට මලල ක්‍රීඩා විධායක සභාව තීරණය කළේය.

එම විනිසුරු වාර්තාවේ සඳහන් වන්නේ සුළං දිසාව ජයසිරි පිහිටු වූ ශ්‍රී ලංකා වාර්තාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවය. අමිල ජයසිරි ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවද්දී උත්සහයන් තුනකදීම එකම දක්ෂතාව පෙන්වා තිබීමද ශ්‍රී ලංකා වාර්තාව පිළිගැනීමට විශේෂ හේතුවක් වී තිබේ.

ඔහුගේ මේ දක්ෂතාව අනුව ලබන වසරේ ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවීමේ අවස්ථාව උදාකර ගත හැකිවන අතර, එහෙත් එය ඉදිරියේදී පැවැත්වෙන තරගාවලියකදී නැවැත තහවුරු කිරීම අවශ්‍ය වේ. පසුගිය බීජිං ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී දුර පැනීමේ පරිසාධන මට්ටම වූයේ මීටර් 8.10කි.

දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව 1999දී මීටර් 7.86කින් සුජිත් රෝහණ පිහිටුවා තිබූ අතර 2014 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී අමිල ජයසිරි එය සම කළේය.

මේ අතර යාපනයේදී නිමාව දුටු ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා තරගයේදී නිමාලී ලියනාරච්චි පිහිටවූ ශ්‍රී ලංකා වාර්තාව ද මලල ක්‍රීඩා විධායක සභාව අනුමත කර තිබේ.

සුළගේ වේගය සැලකිල්ලට නොගෙන පිළිගත හැකි ප්‍රමිතියකින් තොරව පිහිටවූ එකක් බවට එල්ලවූ චෝදනා සියල්ල මලල ක්‍රීඩා සංගමයේ විධායක සභාව ප්‍රතික්ෂේප කොට තිබේ.

යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී නිමාව දුටු 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි මීටර් 800 තරගය විනාඩි 2:03.50 කින් නිමකර නව ශ්‍රී ලංකා වාර්තාව බිහි කළ අතර 1992 වසරේ පැවැති බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී ධම්මිකා මැණිකේ, විනාඩි 2:03.85 කින් එහි පැරණි වාර්තාවට හිමිකම් කීවාය.

නිමාලි විසින් බිඳ දමන ලද වසර 24 ක් පැරණි වාර්තාව ඉලෙක්ට්‍රොනික් කාලඝණක යන්ත්‍රවලින් තොරව අත් රඳවන කාල ඝනකවලින් ගණනය කරන ලද්දක් බැවින් දෝෂ ඇති බවට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා වෙත පැමිණිලි ඉදිරිපත්වී තිබුණි.

Comments

comments

SHARE