ගමේ ක්‍රීඩාව කොතැනටද

85
0

2016 ඔලිම්පික් යාමට ගම තුළින් දරුවකු බිහි වූයේ නැත. 2020 ටෝකියෝ යාමට ද දරුවකු බිහි වීමේ මූලික පදනමක් තවමත් සකස් වී ඇති බවක් හඳුනාගැනීම අපහසුය. නමුත් අපට 2024 වෙනුවෙන් යමක් කළ හැකිදැයි අවධානය යොමු කළ යුතුය. මේ වෙනුවෙන් දැන් දැන් ම සූදානම් විය යුතුය.

ක්‍රීඩාව තුළින් දරුවා සුවිශේෂී ගුණාංගයන්ගෙන් යුතු පුද්ගලයකු බවට පත් වෙයි. කුඩා කල සිට ලබන මේ පුහුණුව අනාගතයේ රට බාර ගැනීමට මනා සංයමයකින් යුතු පරිණත පුද්ගලයකු නිර්මාණය කරයි. ජය පරාජය විඳ දරා ගැනීමටත්, ඉවසීමේ ගුණය පිළිබඳවත් ක්‍රීඩාව තුළින් අපේ දරුවන්ට පාඩම් කියා දෙයි. ඒ වාගේම මනා වූ ශරීර සෞඛ්‍යයකින් හෙබි නිරෝගිමත් පිරිසක් රටට දායාද කරයි.

මාගේ මේ විශේෂ අවධානය ගම දෙසට යොමු වන්නේ සිවු වසරක් මා ලැබූ උසස් අධ්‍යාපනයත් සමගිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ Sport and Recreation Management උපාධි පාඨමාලාව හදාරා අවසන් කර ගමට පැමිණි මා හට ලැබූ අධ්‍යාපනය, දැනුම ප්‍රායෝගික වශයෙන් යොදා ගැනීමටත්, එම දැනුම සමාජගත කිරීමටත් අවශ්‍ය විය. සියනෑ කෝරලයේ ගඟබඬ පත්තුවේ ගමක ජීවත් වන මා හට ජීවත් වන ගමෙහි ක්‍රීඩාවට හිමි ස්ථානය පිළිබඳ තොරතුරු සොයා ගමන් ඇරැඹීමට සිත්විය. ජාතික තලයට හිමිකම් කියන්නන් මේ වසරේ ද මගේ ගම තුළින් බිහි වී නැති නිසාත්, මෙය ඉදිරියට වැදගත් වන නිසාත් ගමේ දරුවන් සමඟ නිදහසේ කතා බහ කිරීමටත් ඔවුන් තුළ ක්‍රීඩාව පිළිබඳ පවත්නා වූ ආකල්පයන් සහ දැනුවත්භාවය කුමක් ද යන්නත් දැන හැඳින ගැනීම මාගේ ප්‍රධාන පරමාර්ථය විය.

අධ්‍යයන ඇරඹුම

මාගේ මේ උත්සාහය කුසලතා පූර්ණ දරුවන් සොයා යාමක් නොව මා කුඩා කළ පාසල් වියේ දී කියවූ සුභාෂිතයෙහි එන ‘ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු’ යන වදන, මා සිත තුළ ජනිත වීමත් යහපත් දරුවකු සඳහා ක්‍රීඩාවේ ඇති අගය ‘බෙලෙන්’ යන වචනයෙන් පැහැදිලි කරයි.

ඟුණ, නැණ සහ බෙලෙන් යන පද තුන ක්‍රීඩා සංවර්ධනයට පමණක් නොව පොදු සංවර්ධනයට දායකත්වය ලබා දෙයි. රටක් ගත් කළ ක්‍රීඩාව එම රටෙහි සංවර්ධනය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

ලෝකයේ රටවල් සිහියට නැ‍ඟෙන විට මා සිවු වසරක් විශ්වවිද්‍යාලය තුළ ලැබූ දැනුමත් සමඟ ලොව විවිධ රටවල් තම රටෙහි ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා මූලික අඩිතාලමක් ඇතිකර ඇත්තේ ‘පවුල’ යන සමාජ සංවිධානය මුල් කරගෙන ය. ඕස්ට්‍රේලියාවේ 2010 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන ‘Pathway to Succes’ වැඩසටහන මෙයට කදිම උදාහරණයකි.

එවැනි රටවල් හා මා උපන් රට කුමක්දැයි මොහොතක් නතර වී මම කල්පනා කළෙමි. මේ පරස්පරභාවය අපට නැති කළ හැකි බව මට කල්පනා විය. එහි මූලික අඩිතාලම සැකසිය යුත්තේ ගම තුළින් බව මාගේ සංකල්පයයි. එනිසා ගම වෙත අවධානය යොමු කරමින් ගම තුළ ක්‍රීඩාවට හිමි ස්ථානයත් ගමේ දක්ෂයන් සොයා යාමටත් සිත් විය.

මාගේ අධ්‍යයනයට යොදා ගනු ලැබූ මේ ගමෙහි ග්‍රාම සේවක ලැයිස්තුව අනුව ලයිස්තුගත පවුල් සංඛ්‍යාව 387 කි. දැනට සිවු වසරකට පෙර, එනම් මා ගමෙන් පිටව යන විට එම ලයිස්තුගත පවුල් සංඛ්‍යාවත් අද වන විට එම පවුල් සංඛ්‍යාවේ වර්ධනයත් සැලකිය යුතු මට්ටමක පවතී. මෙයින් පවුල් 20ක් මාගේ අධ්‍යයනයට යොදා ගැනීමට මම තීරණය කළෙමි. ලයිස්තුගත පවුල් පවුල් 287 අතුරින් අහඹු ලෙසින් තෝරා ගනු ලැබූ පවුල් 20 අතුරින් වයස අවුරුදු 5ට වැඩි 16ට අඩු දරුවන් වෙත මාගේ අවධානය යොමුවිය. මේ පවුල් 20 අතරින් එම වයස් මට්ටමේ දරුවන් 26 දෙනෙක් හඳුනා ගැනීමට හැකිවිය. මේ දරුවන් සමඟ කතාබහ කර ඔවුන්ගේ අදහස් ලබා ගැනීම මාගේ අරමුණ විය. මේ කතා බහේ දී මාගේ විශේෂ අවධානය යොමු වූයේ දරුවා තුළ ක්‍රීඩාවට ඇති කැමැත්ත, කී‍්‍රඩා කිරීම සඳහා තම දෙමාපියන්ගෙන් හා පාසලෙන් ලැබෙන සහයෝගය, ක්‍රීඩා ජීවිතයේ ඔවුන්ගේ ඉදිරි අපේක්ෂාවන් මොනවා ද යන්න පිළිබඳයි.

පරීක්ෂණ දැක්ම

සිදුකරනු ලැබූ කතාබහ තුළ සෑම දරුවකු ම ක්‍රීඩාවට දැඩි සේ ඇළුම් කරන බව තේරුම් යන්නට විය. නිවසේ දී ඔවුන් නම් වශයෙන් සඳහන් කළ හැකි ක්‍රීඩාවන් නොකරයි. නමුත් ඔවුන් නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙමින් ඔවුන්ගේ විවේක කාලය සලසා ගනු ලබයි.

සවස් යාමයේ වෙල් ඉපනැල්ලේ රවුම් කිහිපයක් දිව යාමට, සරුංගලයක් ඉහළ අහස් තලයට යවා එහි අලංකාරත්වය විදීමට මේ සෑම දරුවකු ම ආශා කළෝය.

මේ ඔවුන් තුළ ගැබ්ව ඇති ක්‍රීඩාශීලීත්වයයි.

මොවුන් තුළ ස්වභාවිකව ම ක්‍රීඩාශීලීත්වය ජනිත වී පවතී. නිවසෙන් පාසලට ගිය විට එතුළ ද ඔවුන් සාමූහික වශයෙන් එක් වී නොයෙක් ක්‍රීඩාවන් හි නිරත වෙයි. දරුවන් තුළ ක්‍රීඩාවට ඇති මේ බැඳුණු ගතිය ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතයට පදනමක්, ආරම්භයක් සනිටුහන් කිරීමට යොදා ගනු ලබන්නේ කෙසේ ද යන්න මම කල්පනා කළෙමි. එවිට 1988 දී Casey විසින් රචිත “The Sports Development Continuum” හි ක්‍රීඩා සංවර්ධන පිරමීඩය මගේ සිහියට නැ‍ගුනි.

ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ කතාබහ කිරීමේ දී කුඩා කළ සිට දරුවකු තුළ ශක්තිමත් පදනමක් ගොඩනැගිය යුතු බව Casey අවධාරණය කරනු ලබයි. කාලාන්තරයක් පුරාවට දරුවා තුළ මේ මූලාරම්භය සකස් විය යුතුය. මේ තුළ දරුවා ජීවත් විය යුතුය. සෑම දරුවකු ම මේ ශක්තිමත් පදනම තුළ වැඩුණු පසු ඉතිරි පියවර වෙත ගමන් කිරීම ඉතාමත් පහසු කාරණයක් වේ. පවුල, පාසල යන සමාජ සංවිධාන තුළින් දරුවාට මේ මූලික පදනම හිමිවිය යුතුය. රටක් තුළ යහපත් වූ ගුණධර්මවලින් පරිපූර්ණ පුරවැසියකු බිහි වීමට මේ මූලික කරුණ වැදගත් වේ. පවුල ගත් කළ එතුළින් දරුවාට අවශ්‍ය ආදරය, කරුණාව, සෙනෙහස, ආරක්ෂාව හිමිවිය යුතුය.

ගුණාත්මක බවින් යුතු ආකල්පයන්ගෙන් පෝෂණය විය යුතුය. පවුල තුළින් මෙන් ම මේ දේවල් පාසල තුළින් ද දරුවාට හිමිවිය යුතුය. පවුල හා පාසල යන මේ සමාජ සංවිධාන දෙකෙහි සංකලනය ගුණාත්මකභාවයෙන් ශක්තිමත් දරුවකු සමාජය වෙත දායාද කරයි. මේ සියල්ල සම්පූර්ණ වූවායින් පසුව අපට සහභාගීත්වය පිළිබඳ ව කතා කළ හැකිය. දරුවාට අවශ්‍ය මූලික අඩිතාලම වැටුණු පසු සෑම දරුවකුම සතුටින් ජීවත් වෙයි. එසේම ඔවුන් තුළ ඇති ක්‍රීඩාශීලීත්වය තව තවත් වැඩි දියුණු වේ. සෑම දරුවකු තුළම ඇති ක්‍රීඩා කිරීමේ කැමැත්ත ආශාව ඔවුන් සහභාගීත්වය වෙත රැගෙන යයි. ඉන් අනතුරුව මේ දරුවන් තුළින් අපට දක්ෂතාවයන් බලාපොරොත්තු විය හැකිය. ‘හොඳ ආරම්භයක් ඉතා හොඳ අවසානයක් ඇති කරනු ලබයි.’ මේ නිසා සෑම දෙයක් ම සිදු විය යුතු යම්කිසි වූ පිළිවෙලක් ඇත. ‘සැතපුම් දාහක පියවරක් වුව ඇරැඹෙන්නේ එක් පියවරකින්’ බව සිහියේ රඳවා ගෙන කටයුතු කරන්නේ නම් අපට යා හැකි දුර ඉතා දිගුය.

එකවර විශිෂ්ටයකු බිහි වන්නේ නැත. කුඩා කළ සිට දරුවා හැදෙන වැඩෙන පරිසරය තුළින් ඔහු තුළට වටිනාකම් එකතු විය යුතුය. වටිනාකමින් පිරිපුන් වූ පසු කිසිවිටෙකත් ඔහු තවත් කෙනෙකුගෙන් එකවර විශිෂ්ටත්වය බලාපොරොත්තු නොවේ. සෑම දෙයක් ම කරා අප ළඟගා වීමේ දී එහි යම්කිසි පිළිවෙළක් ඇත. එයට පටහැනි අයුරින් ක්‍රියා කිරීමට යාම තුළින් අප සාර්ථක වුවද එම සාර්ථකත්වය රඳා පවතිනුයේ ඉතාමත් කෙටි කාලයකි.

දරුවාට ලැබෙන සහයෝගය

මාගේ අධ්‍යයනයට යොදා ගැණුනු මේ දරුවන් තුළ ක්‍රීඩා කිරීමට ඇති කැමැත්ත ඉතාමත් ඉහළ බව මට වැටහී ගිය ද එය ප්‍රායෝගිකත්වයට නැගීම තුළ සිතීමට යමක් ඇති බව මම අවබෝධ කර ගතීමි. මගේ මීළඟ අරමුණ වූයේ දරුවාට ක්‍රීඩා කටයුතු කරගෙන යාම සඳහා තම දෙමාපියන්ගෙන්, පාසලෙන් ලැබෙන සහයෝගය කෙබඳු ආකාරයක පවතින්නේ ද යන්න හඳුනා ගැනීමයි. මේ සඳහා පාසල් කලාප හා දිස්ත්‍රික් මට්ටම නියෝජනය කරමින් ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වූ දරුවන් කිහිප දෙනකු සමඟ පුංචි කතාබහක යෙදුණි. මේ දරුවන් විවිධාකාරය. මොවුන් තුළ ඇත්තේ එකම හැකියාවන් දක්ෂතාවයන් නොව, එකෙකුට එකෙක් වෙනස්ය. විද්‍යාත්මක, කලාත්මක, ආධ්‍යාත්මික වශයෙන් මේ දරුවන්ගේ අදහස්, සිතිවිලි වෙනස්ය. මේ දරුවන්ගෙන් අදහස් විමසීමේ දී මා ඉහතින් සඳහන් කළ Caseyගේ පිරමීඩය වෙත මාගේ සිත නැවතත් දිව යන්නට විය. සබෑවට ම මෙහි මූලික කරුණ වූ පදනම මේ දරුවන් තුළ ප්‍රමාණවත් අයුරින් නොමැති බව මා හට අවධාරණය කර ගැනීමට හැකිවිය. පවුලක් පාසලක් තුළින් දරුවකු තුළ මේ පදනම සැකසීමේ දී දරුවා ධනාත්මක ආකල්පවලින් යුක්ත විය යුතු අතර එම දරුවන්ට ක්‍රීඩා ජීවිතයේ ඉදිරියට යාමට ඉතාමත් හොඳ සහයෝගයක් ලැබිය යුතුය. එවැනි හොඳ සම්බන්ධතාවයක් මේ දරුවන් වටා ගොඩනැගී ඇති බවක් මා හට හඳුනා ගැනීමට නොහැකි විය.

දරුවන්ගේ අනාගත බලාපොරොත්තු

ක්‍රීඩා ජීවිතයේ අනාගත බලාපොරොත්තු රාශියක් මේ දරුවන් තුළ සැඟව තිබේ. ජාතික හා ජාත්‍යන්තර තලයට යාමට ඔවුන්ට දැඩි අවශ්‍යතාවයක්, වුවමනාවක් තිබේ. තම ගමට, පාසලට, රටට අභිමානයක් කැන්දන් ඒමට ඔවුන් ආශාවෙන් බලා සිටී. නමුත් යා යුත්තේ කිනම් ගමන් මාර්ගයක් ඔස්සේ ද කළ යුත්තේ කුමක් ද යන්න නිසි අවබෝධයක් ඔවුන් තුළ ඇති බවක් හඳුනා ගැනීම අපහසු විය.

සා.පෙළ. අවසානයත් සමඟ මේ දරුවන්ගේ අපේක්ෂාවන්ට සිදුවන්නේ කුමක් ද යන්න කිසිවකුත් නොදනී.

ක්‍රීඩාව පිළිබඳ දෙමාපිය සංකල්පය

දරුවන්ගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් දරනු ලබන්නේ කුමන ආකල්පයක් ද යන්න මා හට දැන ගැනීමට අවශ්‍ය විය. එනිසා මාගේ මීළඟ කතාබහ දෙමාපියන් සමඟ ඇරැඹීමි. ඔවුන් සමඟ සිදු කරනු ලැබූ කතා බහ තුළ දී මූලික වශයෙන් මා හඳුනාගනු ලැබූයේ ක්‍රීඩාව පිළිබඳ ඔවුන් තුළ ඇති නොදැනුවත්භාවය යි. මේ අධ්‍යයන චාරිකාවෙහි යෙදුණු ගම තුළ ජාතික තලයට ගිය දරුවන් සොයා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් විය.

එය එසේ වූයේ දෙමාපිය දායකත්වය තුළ ක්‍රීඩා සංකල්පයට ඉඩක් නොලැබුණු නිසාවෙනි. එක් දරුවකු හෝ ජාතික ජාත්‍යන්තර කරලියට මේ ගම තුළින් ගොස් තිබුණේ නම් දෙමාපියන් ඒ පිළිබඳ සොයා බලා දරුවන් ඒ වෙත යොමු කරවීමට උනන්දු වනු නොඅනුමාන ය. නමුත් මා මේ කතා කරනු ලබන ගම තුළ දරුවන් එවන් තලයක් අසලටවත් ලංවී නොමැත. මේ නිසා දෙමාපියන් ක්‍රීඩාව සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමු නොකරයි. ක්‍රීඩාව පිළිබඳ ඔවුන් තුළ යහපත් ආකල්පයන් ඇති බවක් හඳුනා ගැනීම අපහසු විය.

ආර්ථිකමය ශක්තිමත්භාවය

ඒ වාගේම දෙමාපියන් සමගින් යෙදුණු පිළිසඳරේ දී මා වටහා ගනු ලැබූ තවත් කාරණයක් වූයේ තම දරුවන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියට ගෙන යාමට තරම් ආර්ථිකමය වශයෙන් ඔවුන් ශක්තිමත් නොවන බවය. විශාල දේවල් ඔවුන්ගේ සිත් තුළ නැත. එදිනෙදා ජීවනෝපායයන් කරගෙන යමින් එදා දවස ගත කිරීම ඔවුන්ගේ අරමුණය. ක්‍රීඩාවට යොමුව සිටින තම දරුවන් ඒ සඳහා රැගෙන යාම, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම අනවශ්‍ය වියදම් ලෙස මවුපියෝ සළකති. එසේ වියදම් කිරීමට දෙමාපියන්ට කිසිදු ආර්ථිකමය හැකියාවක් නොමැත.

සංවර්ධන ඉලක්කයක් ලෙස ක්‍රීඩාව

ක්‍රීඩාව දෙසට අද ලෝකයේ විශාල අවධානයක් යොමුව තිබේ. ක්‍රීඩාව ඉවහල් කොට ගෙන රටවල් සංවර්ධනය කරා ගමන් කරමින් සිටී. ක්‍රීඩාව සංවර්ධන ඉලක්කවලින් එකක් බවට පත්ව තිබේ. සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස ලංකාව ක්‍රීඩාව තුළින් අද සිටින්නේ කොතැනක ද යන්න අවධාරණය කිරීම වැදගත් වේ. අපි අපේ රටෙහි ක්‍රීඩාව ගැන කතා කරන්නෙමු. සෑම පාසැල් දරුවකුම ක්‍රීඩා කිරීම අනිවාර්ය බව ප්‍රකාශ කරමින් ප්‍රතිපත්ති සකස් කරන්නෙමු. මේ කුමන දෙයක් සිදු කළ ද ගමේ ක්‍රීඩාවේ සංවර්ධනයට ලැබෙන දායකත්වයේ අඩුවක් දක්නට ලැබේ.

තරගයකට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමම නොව ක්‍රීඩාව සංවර්ධනය උදෙසා කෙසේ යොදා ගන්නේ ද යන්න අවධානය යොමුවිය යුතුය. මා මෙසේ කතා කරනුයේ එක් ගමක් පිළිබඳ කරනු ලැබූ අධ්‍යයනයක් තුළිනි.

අනෙක් සෑම ගමක ම තත්ත්වය ද මෙසේ ම බව ප්‍රකාශ කළ යුතු නොවේ. සමස්තයක් ලෙස ගත් කළ ගමෙන්, ගමෙහි ක්‍රීඩාව තුළින් රටට විශාල වූ දායකත්වයක් ලබා ගත හැකි බව අපට අමතක ව ගොස් තිබීම අභාග්‍යයකි. ක්‍රීඩාව තුළන් දරුවා සුවිශේෂී ගුණාංගයන්ගෙන් යුතු පුද්ගලයකු බවට පත් වෙයි. කුඩා කළ සිට ලබන මේ පුහුණුව අනාගතයේ රට බාර ගැනීමට මනා සංයමයකින් යුතු පරිනත පුද්ගලයකු නිර්මාණය කරයි. ජය පරාජය විඳ දරා ගැනීමටත්, ඉවසීමේ ගුණය පිළිබඳත් ක්‍රීඩාව තුළින් අපේ දරුවන්ට පාඩම් කියා දෙයි. ඒ වාගේම මනා වූ ශරීර සෞඛ්‍යයකින් හෙබි නිරෝගිමත් පිරිසක් රටට දායාද කරයි. ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ ව කතාවට පමණක් සීමා නොකොට එය සංවර්ධනය කිරීමේ විශාල වැඩපිළිවෙළවල් සකස් විය යුතු කාලය එළැඹ තිබේ. එක් දරුවකු ජාත්‍යන්තරය නියෝජනය කරනවා යනු එය ඔහු තනිවම භුක්ති විදින්නක් නොව මුළු රටක් නියෝජනය කරයි. 2016 ඔලිම්පික් යාමට මේ ගම තුළින් දරුවකු බිහි වූයේ නැත.

2020 ටෝකියෝ යාමට ද දරුවකු බිහි වීමේ මූලික පදනමක් තවමත් සකස් වී ඇති බවක් හඳුනාගැනීම අපහසු විය. නමුත් අපට 2024 වෙනුවෙන් යමක් කළ හැකිදැයි අවධානය යොමු කළ යුතුය.

මේ වෙනුවෙන් දැන් දැන් ම සූදානම් විය යුතුය. මෙහි දී මාගේ අධ්‍යයනය තුළින් වැටහී යන්නට වූයේ ගම වෙතට විශේෂ වූ අවධානයක් ලැබිය යුතු බවයි. මේ අධ්‍යයනය තුළින් ගමෙහි ක්‍රීඩාව පවතින්නේ කොතැනද යන්න අවබෝධයක් ලබා ගැනීමට මට හැකි විය. මා ලැබූ අධ්‍යාපනයත්, දැනුමත් ක්‍රියාවට නැංවීමට කාලය එළැඹ ඇත.

එය ගම තුළින් ආරම්භ විය යුතු යැයි යන්න මාගේ හැඟීමයි. ඉදිරි අධ්‍යයනයන්ට මෙය පුංචි මූලාරම්භයක් පමණක් බව පැවැසීය යුතුය.

දිනේෂා සඳමාලි, කැලණිය විශ්වවිද්‍යාලය.

Comments

comments

SHARE