මගේ හීනය ආසියාවේ ටොප් රයිඩර් වීමයි

104
0

මෙරට යතුරුපැදි ධාවන තරගබිම දිග්විජය කරන අනාගත තරුවක් බිහිවීමේ පෙරනිමිති පහළ කරමින් සිටින ළාබාල යතුරුපැදි ශූර කේසර ගොඩගේ පසුගියදා වලව සුපර්ක්‍රොස් තරගාවලියේ අවුරුදු 13න් පහළ යතුරුපැදි තරග ඉසව්වේ ජයග්‍රහණය කිරිමට සමත්විය. ඉන් නොනැවතී එහි අවුරුදු 16න් පහළ තරගයේ දිත් තුන්වැනි තැන අත්පත් කරගනිද්දී ඇතැමුන්ගේ නළල්තල විමතියෙන් රැලි ගැන්විනි.‍

colimg_9018103949519_4939941_05102016_svg-171x250ඊයේ පෙරේදා 11 වැනි වියට පා තැබූ මේ කුඩා යතුරුපැදි ශූරයා තරග වදින්නේ අවුරුදු 13න් පහළ තරග ඉසව්වටය. ඒ අතරේදීම අවුරුදු 16න් පහළ තරග අංශයෙන් දැනටමත් පෙරළි කරන්නට පටන්ගෙනය. කුඩා වුවත් යතුරුපැදි තරග බිමේ මේ වනවිටත් අවුරුදු 5ක අත්දැකීම් ගොන්නක් ඇති කේසර ඊළඟ වසර කිහිපයේ දී එම්.එක්ස් කාණ්ඩයේ සුපිරි තරග අංශයේ නොම්මර එකේ ක්‍රීඩකයා වනු ඇතැයි අනාවැකි පළවී හමාරය.

‘එහෙම ලොකු බලාපොරොත්තු කියලා දෙයක් තාම නෑ. ඒත් කවදාහරි දවසක ආසියාවේ ‘ටොප් රයිඩර්’ කෙනෙක් වෙන්න ඕනා.’ කේසර ගොඩගේ ‘දිනමිණ’ සමග කතාබහට එක්වූයේ එසේ කියමිනි.

අවුරුදු පහකට පෙර එවකට පස් හැවිරිදි වියෙහි පසුවූ කේසර මුලින්ම යතුරුපැදි තරග බිමට සේන්දු වෙද්දී ඔහුගේ සම වයසේ දරුවන් සිටියේ සෙල්ලම් යතුරුපැදි පදිමින්ය.

‘උඩවලවේ තමයි මුලින්ම පැද්දේ…’ කේසර කියයි.

වසර 2012 වලව සුපර් ක්‍රොස් තරගබිමේ දී 50cc යතුරුපැදියෙන් සිය මංගල ගමන ඇරැඹූ කේසරට අවුරුදු10න් පහළ ඒ තරගයේදී 13 වැනි තැන හිමිවූයේ ක්‍රීඩකයන් 28ක් අතරිනි.

‘එච්චර බයක් තිබ්බේ නෑ. එක පැද්දට පස්සේ තිබුණු බයත් ගියා’ ඔහු හිනැහෙමින් කියයි. ඊළඟ වසරේදී ඔහු අවුරුදු 10න් පහළ තරග ඉසව්වේ සෑම ප්‍රධාන තරගාවලියකදීම මුල්පෙළ ස්ථානයක් අත්කරගැනීමට සමත්විය.

අනතුරුව අවුරුදු 7දී පියාගෙන් ලැබූ 85cc යතුරුපැදියෙන් අවුරුදු 13න් පහළ තරග ඉසව්වට එක්වූ කේසර වැඩි කාලයක් නොගොසින් ඒ වයස් කාණ්ඩයේ පෙරළිකාර ක්‍රීඩකයා බවට පත්විය.

පසුගිය වසරේ ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගබිමේදී අවුරුදු 10න් පහළ තරගයෙන් තුන්වැනි තැන දිනාගනිමින් 50cc යතුරුපැදියට සමුදුන් හෙතෙම ඒ වසරේ පැවැති ඉතිරි තරගාවලි අතර වඩාත්ම කැපී පෙනෙන ළාබාල ක්‍රීඩකයා බවට පත්විය. අවුරුදු 13න් පහළ ෆොක්ස් හිල් තරගයේදී දෙවැනි ස්ථානය දිනාගත් කේසර අනතුරුව ගනර්ස්, සීගිරිය, ගජබා සුපර් ක්‍රොස් තරගබිමේ ජයග්‍රාහකයා බවට පත්වූයේ වාර්තා පිට වාර්තා තබමිනි.

එවකට 9 හැවිරිදි වියේ පසුවූ කේසර වාර්තාපොත අලුත් කළේ 2015 වසරේ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි තරග බිමේ වාර්ෂික සියැට් – ස්ලාඩා ශූරතාවලියේ අවුරුදු 13න් පහළ තරග ඉසව්වේ දක්ෂතම ක්‍රීඩකයාගේ සම්මානය දිනාගනිමිනි. ඔහු වාර්තාපොතට එක්වූයේ දශක ගණනාවක ඉතිහාසයක් ඇති සුපර් ක්‍රොස් යතුරුපැදි තරග බිමේ අවුරුදු 13න් පහළ වාර්ෂික ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩකයා ලෙසිනි.

යතුරුපැදි තරගවලට මෙන්ම අධ්‍යාපනයටත් උපන් හපනකු වන කේසර නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඔහුගේ මිතුරන් යතුරුපැදි තරග පිළිබඳ ඇතැම් විට තොරතුරු විමසති.

‘සමහරු රේස් ගැන අහනවා. ඒත් සමහර යාලුවෝ පිළිගන්නෙත් නෑ මං රේස් පදිනවා කියලා.’

යතුරුපැදි ක්‍රීඩාව වැනි ත්‍රාසජනකවූත්, අවදානම් සහිතවූත් ක්‍රීඩාවකට සිය එකම පුතු යොමු කිරීම ගැන ඔහුගේ පියා ෆෝර්ඩ් ලේසර්/ මැස්ඩා 1300cc සහ 1500cc කාණ්ඩයේ මෝටර් රථ ධාවන තරග ඉසව් නියෝජනය කරමින් දස්කම් දක්වන මෝටර් රථ ධාවන ශූර ධම්මික ගොඩගේ මහතා කියන්නේ නිසි මගපෙන්වීමක් ලබාදෙමින් තම පුතා ඉදිරියට රැගෙන යාම එකම අරමුණ වී ඇති බවය.

‘කවදාවත් හිතුවේ නෑ පුතාව රේස් පද්දන්න. ඒත් ඒක එයාගේ උපන් හැකියාවක් වෙන්න ඇති. මට තමා මතකයි මුලින්ම බයික් එකක් අරන් දීපු දවසේ ඒකේ සද්දෙට එයා කන්දෙකත් වහගත්තා.’ ධම්මික එසේ කියයි.

‘පැහැදිලිවම පොඩි අයගේ රේස් එක වෙනස් කළේ කේසර. එයා අවුරුදු 8 දී උඩවලවේ ගිහින් අවුරුදු 13න් පහළ ළමයි එක්ක හරි හරියට පැද්දා. බය නැතිව ‘ජම්ප්ස්’ දැම්මා. ඒ වයසේ ළමයි බය නැතිව ඉස්සරහට ඇවිත් අනිත් අයට තරගයක් දෙන්න පෙළඹුණේ කේසර නිසයි.’ ධම්මික පවසයි.

‘ඒත් තවමත් මෙයා අම්මයි නංගියි ආවේ නැත්තං රේස් පදින්නේ නෑ’

කේසරගේ තරග බලන්නට මුලු පවුලම එක්වෙයි. මව සාවිත්‍රී සහ නැගණිය මිනදි එනතුරු කේසර යතුරුපැදියට ගොඩවන්නේ නැත.

කේසර ගොඩගේ මේ වසරේ වලවේ සුපර්ක්‍රොස් තරගාවලියට පෙර සීගිරිය සුපර් ක්‍රොස් 13න් පහළ තරගය ජයගත්තේය. ගනර්ස් සහ කැවල්රි තරගවලදී ඔහුට හිමිවූයේ දෙවැනි තැනය. ඒ තරග ද්විත්වය ජයගත්තේ තවත් විශිෂ්ට ක්‍රීඩකයකු වන ඩි.එම්.ඩී.කල්හාරය.

‘වැඩිම අභියෝගය තියෙන්නේ කල්හාරගෙන්….’ කේසර කියයි.

සිය යතුරුපැදි ධාවන ගමන් මගේ පළමු ස්ථාන දිනාගත් තරග කොතෙක් තිබුණත් වසර 2012 ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගැනීම අදටත් සිය ප්‍රියතම තරගය බැව් ඔහු කියයි.

‘මුල්ම වතාවට තරගයක ඉදිරිපෙළ ස්ථානයක් දිනාගත්තේ ඒ රේස් එකේදියි..මේ හැම දෙයක්ම තාත්තා නිසා තමයි. මගේ රේස් ජීවිතයේ හැමදේම තාත්තා තමයි.’ කේසර සිය පියා ගැන ගෞරවයෙන් යුතුව එසේ පවසයි.

colimg_9021103950245_4939949_05102016_svg

Comments

comments

SHARE