ධනපති පංතියේ ටෙනිස් මහ පොලොවට පාත් වීම

123
0

සියවසකට එහා කාලයක්‌ සුදු අධිරාජ්‍යවාදීන්ගේත් උන්ගේ දේශීය හාම්පුතුන්ගේත්, හුදු සාටෝපයෙන් පිරි ආභරණයක්‌ පමණක්‌ වුනු ශ්‍රී ලංකාවේ ටෙනිස්‌ ක්‍රිඩාව ක්‍රමානුකූලව වෙනස්‌ වීමට පටන් ගෙන ඇති වග අප පසුගිය සතියේ කීවෙමු. මීට පහළොස්‌ වසකට පමණ එපිටින් ජාත්‍යන්තර ටෙනිස්‌ සම්මේලනයේ මඟ පෙන්වීම යටතේ මෙරට ජාතික ටෙනිස්‌ සංගමය විසින් හඳුන්වා දුන් ‘මිනි ටෙනිස්‌’ ව්‍යාපෘතිය හරහා මෙකී ධනේෂ්වර ක්‍රීඩාව ගමට ගිය සැටිත් ඉන්පසු දුෂ්කර ගැමි ප්‍රදේශවලින් උමේෂි රණවීර වැනි ජාතික ශූරියන් බිහිවූ සැටිත් අප එහිදී මතක්‌ කර සිටියෙමු. බොහෝ විට ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ දැනුමින් තොරව සිදුවූ මෙකී විප්ලවයට රහසේම උරදුන් තවත් එක්‌ ආයතනයක්‌ ගැන කෙටි සටහනකි මේ.

ආදී ආනන්දියකු වූ දිනිත් පතිරාජ මහතා සුදුසුකම් ලත් නීතිඥයෙකි. නවසිය අනූව දශකය අග ඔහු අමුතු වැඩකට අත ගැසීය. අන්තර් පාඨශාලා මට්‌ටමෙන් ටෙනිස්‌ ගසා තිබූ ඔහු යම් කලක්‌ සිය පාසල් ටෙනිස්‌ කණ්‌ඩායම පුහුණු කොට සාර්ථක වී සිටියේය. 1998 දී ඔහු විසින් භාර ගත් අපූරු අභියෝගය කුමක්‌ද? එනම් මෙරට ප්‍රධානතම කතෝලික පාසලක්‌ වූ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ටෙනිස්‌ ක්‍රීඩාව ආරම්භ කොට එහි හොඳ ටෙනිස්‌ පිලක්‌ බිහි කිරීමේ අභියෝගයයි. විදුහලේ ප්‍රධාන පිටිය කෙලවර පාසල් සත්ත්aව ගොවිපළ පැවති බිමේ පතිරාජ සිය කාර්යය ඇරඹීය. බිංදුවේ සිට පටන් ගත් ගමන වෙනුවෙන් ඔහු ඔහුගේ සමස්‌තය කැප කළේය. විදුහල්පති ෆිලීෂියන් පෙරේරා පියතුමාගේ ආශිර්වාදය පතිරාජ වෙත විය.

‘2001 අවුරුද්දේ අපිට අවුරුදු 10 න් හා 18 න් පහල අන්තර් පාසල් ජාතික ශූරතාව දිනන්න පුළුවන් වුණා. ඒ, ඒ වෙනකොට අවුරුදු 70 ක්‌ විතර වුනු ශාන්ත පීතර ඉතිහාසයේ පළමු ටෙනිස්‌ ජයයි’. පතිරාජ එසේ කියද්දී එහි තවත් වැදගත් කමක්‌ ඇත. එනම් ඊට පෙර මෙරට පාසල් ටෙනිස්‌ ක්‍රීඩාව තුළ කොළඹ රාජකීය විදුහලට වූ දීර්ඝ ආධිපත්‍ය එතැන් පටන් ක්‍රමයෙන් ශාන්ත පීතරයන් විසින් ආක්‍රමණය කිරීමට පටන් ගත් බවයි. වසර 2005 සිට ගතවූ වසර දොළහෙන් වසර නවයකදීම ඔවුන් සමස්‌ත ලංකා පිරිමි පාසල් ශූරතාව ජයග්‍රහණය කිරීම තුළින් පැහැදිලිවම ශාන්ත පීතරයන් තම ආධිපත්‍ය මෙරට පාසල් ටෙනිස්‌ ක්‍රීඩාව මත පතුරවා ඇති ප්‍රමාණය මොනවට පෙන්නුම් කරයි. ටෙනිස්‌ පිටියක්‌ පවා නොමැතිව ආරම්භ කළ එකී ගමන මෙරට සමස්‌ත පාසල් ක්‍රීඩා ක්‌ෂේත්‍රයටම මහඟු ආදර්ශයක්‌ සපයන්නේය. නමුත් අපගේ ප්‍රධාන මාතෘකාව එය නොවේ.

පසුගිය වසර දොළහ තුළ පීතර විදුහල පතිරාජ මහතා යටතේ විවිධ වයස්‌ කාණ්‌ඩවලින් ජාතික ශූරයන් තිහකට වැඩි ප්‍රමාණයක්‌ බිහි කළේය. මින් දෙදෙනකු කැපී පෙනේ. ඔවුන් නම් තංගරාජා දිනේෂ්කාන්තන් සහ නිශාන්ගන් නඩරාජායි. පතිරාජගේ සෙවණේ ශාන්ත පීතර විදුහල අනුග්‍රහයෙන් සුපිරි ටෙනිස්‌ ක්‍රීඩාව තුළ මෙරට හිනි පෙත්තටම නැඟි මොවුන් කව්රුන්ද? මුලින් කී දිනේෂ්කාන්තන් මඩකලපුවේ පාසල් ගුරුවරයකු වූ තංගරාජා මහතාගේ බාල පුතායි. අනෙකා වූ

නිෂාන්ගන් මීගමුවේ කුරුඳු වගාව ආශ්‍රිත සේවකයකුගේ දරුවෙකි. පතිරාජ, සෙන් පීටර්ස්‌ හා ටෙනිස්‌ නොවන්නට මොවුන් දෙදෙනාගේ ජීවිත කතාව ඉතා වෙනස්‌ එකක්‌ වීමට ඉඩ තිබුණි ‘දිනේෂ්’ සිව්වරක්‌ම ශ්‍රී ලංකා පිරිමි ජාතික ශූරතාවට හිමිකම් කී අතර එම දෙදෙනාම ටෙනිස්‌ ක්‍රීඩකයකුට ලැබිය හැකි ඉහළම ජාතික සුදුසුකම වන ඩේවිස්‌ කුසලාන නියෝජනය හිමිකර ගති.

ශාන්ත පීතර විදුහල විසින් ඔවුන්ට ලබා දුන්නේ ටෙනිස්‌ පමණක්‌ නොවේ. ඒ හා බැඳුනු සුපිරි සංස්‌කෘතියද පාසල වෙතින් ඔවුනට හිමිවිය. ගැමියා ටෙනිස්‌ වෙතින් දුරස්‌ව තබන්නේ ‘සල්ලි’ විතරක්‌ ම නොවේ. ඉංග්‍රීසි කතාව, නාගරික දිවි පෙවත, බටහිරවාදී සංස්‌කෘතික භාවිතාව සල්ලි තිබුණත් ගැමියාට නුපුරුදුය. මෙකී බාධකයන් පරයා යැමට පාසල් අධ්‍යාපනය මොවුන්ට මහෝපකාරී විය.

‘මෙවන් දක්‌ෂයන්ට තැන දීම අපේ පාසලේ ප්‍රතිපත්තියක්‌. එයාලගෙන් අපි පාසල් ගාස්‌තු ගන්නෑ වගේම සමහර වෙලාවට ක්‍රීඩා උපකරණ හා ටියුෂන් ගාස්‌තුත් ලබා දෙනවා’. එසේ කියන්නේ මෙම ටෙනිස්‌ වෘතාන්තය මුල සිටම සියෑසින් දුටුවකු වන වර්තමාන විදුහල් ටෙනිස්‌ භාර ආචාර්ය බර්නාඩ් ඡේසුදාසන් මහතායි.

‘පාසල් අත දීම නොලැබෙන්න දිනේෂ් වත් නිෂාන්ගන් වත් මෙතරම් දුරක්‌ යැමට ඉඩක්‌ තියේවි කියල හිතන්න බැහැ. ෆාදර් ෆෙලීෂියන්ට පස්‌සේ හිටපු ට්‍රැවිස්‌ ගේබ්‍රියෙල් හා වර්තමාන විදුහල්පති ෆාදර් ට්‍රෙවෝ මාටින් මේ සඳහා දුන්නේ විශාල සහයෝගයක්‌. සියලු ක්‍රීඩා භාර පියවරුන් සිය උපරිම සහාය දෙනවා. නමුත් අපේ විදුහලේ ටෙනිස්‌ සාර්ථකත්වය පිටිපස්‌සේ 100% ක්‌ම ඉන්නෙ පතිරාජ මහතායි. යටම ඉඳලා ටෙනිස්‌ ව්‍යqහය මේ තැනට දියුණු කළේ ඔහු. සියලුම දක්‌ෂ ළමයි හඳුනාගන්නේ එයා. විදුහල් පරිපාලනය ඔහුට උපරිමයෙන් උදව් කරනවා. නිෂාන්ගන් අද ඉගෙන ගන්නේ ඇමෙරිකාවෙ. අපි දන්නවා ඒ වගේ සමහර ක්‍රීඩකයන්ට පතිරාජ සර් තමන්ගේ අතින් පවා විශාල ලෙස වියදම් කළා’.

මේ කතාව මෙතැනින් නිමා නොවේ.

‘දැනට අපි ශිෂ්‍යත්වයක්‌ දීපු එක ළමයෙක්‌ කලින් අපේ ටෙනිස්‌ පිටිය හදපු පුද්ගලයගෙ පුතා. ඔහු ශ්‍රීනාත් උදයචන්ද්‍රන්. එයා වයස 16 න් පහල ශ්‍රී ලංකාව නියෝජනය කළා’.

සිහින දකින්නන් අවශ්‍යයි. නමුත් සිහින සැබෑ කෙරුමට ප්‍රායෝගිකව පොළොවේ වැඩ කළ යුතුය. ටෙනිස්‌ ගමට ගෙනයැම සහ එහි ධනපති සළු පිළි උනා දැමීම ගැන කතා කිරීම පසෙකලා පතිරාජ සහ ශාන්ත පීතර විදුහල ඒ සඳහා සෘජු එල්ලයක්‌ ඇතිව මහන්සි වී වැඩ කළෝය. ඔවුන් ලැබූ ප්‍රතිඵල සැබවින්ම අවංක මිනිසුන්ට සුබ බලාපොරොත්තු දනවයි. සාමාන්‍ය මිනිහා පිටමං කොට වසා දමා තිබූ ඉහළ පැලැන්තියේ ටෙනිස්‌ දොරටුව ඔවුන් විසින් බිඳ දමා ඇත. දැන් අවැසි කෙනකුට ඉන් ඇතුළු විය හැකියි.

‘අපි පටන් ගන්නකොට බොහෝ දෙනෙක්‌ හිනා වුණා. මම කළේ තිබුණු දේවල්වලින් හැකි විදිහට පටන් ගැනීමයි. එදා කරන්න බෑම කියල හිතපු දේවල් අද වෙනකොට අපිට කරන්න පුළුවන් වෙලා තියෙනවා. නිෂාන්ගන් අද සෙල්ලම් කරන්නේ ඇමෙරිකාවේ උසස්‌ම අන්තර් විශ්වවිද්‍යාලයීය ටෙනිස්‌ තරගාවලියට. ඔහු හිටියෙ කොහේද? සමහර වෙලාවට මටත් පුදුම හිතෙනවා’, දිනිත් පතිරාජ එසේ පවසයි.

රේවත එස්‌. සිල්වා

Comments

comments

SHARE