කෝලිගෙන් ද්විත්ව ශතකයක්

230
0

නායක විරාත් කෝලි හා අජින්ක්‍යා රහනේ එක්ව සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 365ක විශිෂ්ට සබඳතාව හේතුවෙන් සංචාරක නවසීලන්ත ක්‍රිකට් පිල සමග ඉන්දියාවේ ඉන්දෝර්හීදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 557ක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ඊයේ තරගයේ දෙවැනි දිනය නිමාවනවිට කිසිවකු නොදැවී ලකුණු 28ක් රැස්කර තිබිණි.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ මුල් පෙල පිතිකරුවන් තිදෙනා ලකුණු 100කට දැවී ගොස් තිබියදී නායක විරාත් කෝලි සමගින් එක්වු අජින්ක්‍යා රහනේ සිවුවැනි කඩුල්ලට ලකුණු 365ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

ලකුණු 465දී සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 211ක් ලබාසිටි කෝලි දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණි. කෝලි ලකුණු 211ක් රැස් කළේ තම ජාත්‍යන්තට ටෙස්ට් ‍දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. එය ඔහුගේ දෙවැනි ද්විත්ව ශතකය ‍විය.

පන්දු 366කට මුහුණදුන් ඔහු හතරේ පහර 20කින් ඉනිම සරසා ගත්තේය. ඔහුට අනිගි සහයක් ලබාදුන් අජින්ක්‍යා රහනේ ලකුණු 188ක් රැස් කිරීමට සමත් විය. පන්දු 381කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 18ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය. රොහිත් ශර්මා නොදැවී ලකුණු 51ක් රැස්කළ අතර ඕවර 169කදී ලකුණු 557කට ඉනිම අත්හිටුවීමට ඉන්දියාව තීරණය කළේය.

ඉන්දීය පළමු ඉනිම – 557/5යි. (ඕවර 169) ඉනිම අත්හිටුවන ලදි. විරාත් කෝලි 211, අජින්ක්‍යා රහනේ 188, රෝහිත් ශර්මා නොදැවී 51

නවසීලන්තය පළමු ඉනිම – කිසිවකු නොදැවී 28 (ඕවර 9)

Comments

comments

SHARE