බංග්ලාදේශය එකට එක කරයි

2331
0

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී  පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 34 ක ජයක් ලැබූ බංග්ලාදේශ කණ්ඩායම, තරග 3 කින් සමන්විත වූ තරගාවලිය 1-1 ලෙස සම කිරීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 44.4 ක් අවසානයේ ලකුණු 204 කට සීමා කිරීමට නායක මෂ්රෆී මොටාසා ප්‍රමුඛ බංග්ලාදේශ පන්දුයවන්නෝ සමත් වූහ.

එංගලන්ත කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව 24 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ මොටාසා, ප්‍රභල පිතිකරු බෙන් ස්ටොක්ස් ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමටද සමත් විය.
ආදිල් රෂීඞ් (නොදැවී 33) සහ ජේක් බෝල් (28) එක්ව එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයක නිරත වුවද, එම උත්සාහය ව්‍යර්ථ කරමින් ජේක් බෝල් දවාගත් මොටාසා, බංග්ලාදේශ කණ්ඩායමේ ජය තහවුරු කළේය.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ජොස් බට්ලර් පන්දු 57 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 57 ක් ලබාගත් අතර ටස්කින් අහමඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඔහු දැවී ගියේය.
බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන යෑම සඳහා මොටාසාට අනිගි සහයක් දුන් ටස්කින් අහමඞ් ඕවර 8 ක් යවා ලකුණු 47 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ මහමදුල්ලා පන්දු 88 කදී හතරේ පහර 6 ක් සමගින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 75 කි.
බංග්ලාදේශ ඉනිමේ 9 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි මෂ්රෆී මොටාසා, අවසන් ඕවර කිහිපයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළේය.
නසිර් හුසේන් (නොදැවී 27) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් 49 කදී ලකුණු 69 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද මොටාසා සමත් විය.
ක්‍රිස් වෝක්ස්, ජේක් බෝල් සහ ආදිල් රෂීඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ පිතිකරුවන්ට පීඩනයක එල්ල කලහ.

බංග්ලාදේශය – ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 238
(ටමීම් ඉක්බාල් 14, මහමදුල්ලා 75, මුෂ්ෆිකුර් රහීම් 21, මොසද්දික් හුසේන් 29, නසිර් හුසේන් නොදැවී 27, මෂ්රෆී මොටාසා 44, ක්‍රිස් වෝක්ස් 40/2, ජේක් බෝල් 44/2, ආදිල් රෂීඞ් 53/2)
එංගලන්තය – ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 204
(ජෝ රූට් 13, ජෝනී බෙයාස්ට්‍රෝ 35, ජොස් බට්ලර් 57, ආදිල් රෂීඞ් නොදැවී 33, ජේක් බෝල් 28, මෂ්රෆී මොටාසා 29/4, ටස්කින් අහමඞ් 47/3)

Comments

comments

SHARE