සූරිය වැව ක්‍රීඩාංගණය විනාශයි

49062
0

ලොව සුන්දරම හා ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙසින් ඉදිවූ සූරියවැව මහින්ද රාජපක්‍ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය අද වනවිට ක්‍රිකට් තරග නොපවත්වන, දේශීය සංචාරකයන්ගේ සංචාරක ස්ථානයක් පමණක් බවට පත්ව දිනෙන් දින විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු හා ක්‍රීඩා ලෝලීහු චෝදනා කරති. විශාල මහජන මුදලක් වැයකර ඉදිකළ මෙම ක්‍රීඩාංගණය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන දිනෙන් දින විනාශය කරා යාමට ඉඩහැර තිබෙන්නේ  එහි යන සියලුදෙනාගේ හදවත් කම්පා කරවමිනි.

මේ වනවිට ක්‍රීඩාගාරය තුළ හා අනෙකුත් ස්ථාන පරවියන්ගේ රජදහනක් බවට පත්ව තිබේ. ක්‍රීඩාගාරය තුළ තැනතැන ප‍ෙරවියන් මැරී වැටී කුණු වී ඇති අයුරු, අද එහි යන සියලුදෙනාට සුලබව දැකගත හැකිය. එමෙන්ම ප‍ෙරවියන් බිත්ති අපවිත්‍ර කර ඇති අතර, බිමට එලා තිබෙන කාපට්, විදුලි උපකරණ, මේස පුටු හා ක්‍රීඩාගාරයේ ස්ථාන ගණනාවක්ම විනාශය කරා ගොස් ඇත්තේ බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම නිසාය.

වර්තමානය වනවිට ක්‍රීඩාංගණයේ ආරක්‍ෂාවට ආරක්‍ෂක අංශ යොදවා ඇති අයුරු දැකගත හැකි වුවද, ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු හා පරිපාලන කටයුතු සිදුවන බවක් නම් පෙනෙන්නට නැත.  එමෙන්ම මීට මාස කිහිපයකට පෙර මෙම ක්‍රීඩාංගණය භාර නිලධාරියාද ඉවත් කළ අතර, අද වනවිට නමට පමණක් සීමා වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට සූරියවැව ක්‍රීඩාංගණය පත්ව තිබේ.

රුපියල් මිලියන 4,283ක පමණ විශාල ධනස්කන්දයක් වියදම් කරමින් ඉදිකළ මෙම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, අද වනවිට තනිකරම සුදු අලියෙකු පමණක් බවට පත්ව තිබෙන්නේ කාගේ වරදක් නිසාද යන්න ගැටලුවකි. 2011 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉදිකළ මෙම ක්‍රීඩාංගණය, විවෘත කිරීමෙන් පසු මේ දක්වා එක්දින තරග 17ක් හා විස්සයි20 තරග 07ක් පමණක් පවත්වා තිබේ.

සූරියවැව ඉදිවූ මෙම ක්‍රීඩාංගණය සඳහා අක්කර 47ක පමණ භූමිභාගයක් වෙන්කර ඇති අතර, ක්‍රීඩා ලෝලීන් 35,000කට පමණ එකවර තරග නැරඹීමේ හැකියාව පවතී. එමෙන්ම ක්‍රීඩා පිටියද මීටර 100ක දිගින් හා මීටර් 100ක පළලකින්ද යුක්තය. දිවා රාත්‍රී දෙකෙහිම තරග පැවැත්විය හැකි අයුරින් ස්ථාපිත කර ඇති නවීන විදුලි ආලෝක පද්ධතියකින් සමන්විත මෙම ක්‍රීඩාංගණය මෙලෙස භාවිතයට නොගෙන අතහැර දමා තිබීම ක්‍රීඩාවට සිදුකරන අපරාධයක් බව ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.

අද වනවිට ක්‍රීඩාංගණයේ ඇතුළු වීමේ දොරටුවත් කැලෑවෙන් වැසීගොස් ඇති අතර, ක්‍රීඩාගාරය තුළ විදුලි බුබුළු හා බොහොමයක් විදුලි උපකරණද විනාශයට පත්ව ඇත. ක්‍රිකට් තරග නෙපැවැත්වීම නිසා පසුගිය කාලයේදී මෙහි ගොඩනැගිලි දිනකට රුපියල් 10,000ක මුදලකට මංගල උත්සව සඳහා ලබාදීමට බලධාරීන් තීරණය කළද, ඉන් ක්‍රීඩාංගණයට ආදායකමක් හිමිවී නොමැත. මීට වසර කිහිපයකට ඉහතදී මෙහි තරග නැරඹීමට ප්‍රේක්‍ෂකයන් පැමිණියද, වර්තමානය වනවිට විනෝද චාරිකා ලෙස පැමිණෙන්නන්ගේ නැරඹුම් ස්ථානයක් පමණක් බවට පත්ව ඇත.

ක්‍රීඩාංගණයේ අවට උද්‍යානයේ අලංකාරය සඳහා සිටුවා තිබූ බොහොමයක් ගස් වර්ගද සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇත්තේ වග කිවයුතු කිසිවකුගේ අවධානය ඊට යොමු නොවීම හා කිසිදු නඩත්තුවක් නොමැති නිසා බව එහි ගිය අපට දැකගත හැකි විය. එමෙන්ම තැන තැන ගොඩ ගසා ඇති කුණු ගොඩවල් ක්‍රීඩාංගණයේ අභාවයට හොඳම සාක්‍ෂිය.ක්‍රිකට් තරග නොපැවැත්වුවද, මෙහි නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් එක්කෝටි අනූනව ලක්‍ෂයක පමණ මුදලක් වාර්ෂිකව වියදම් කෙරෙන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

පසුගිය කාලය පුරාවට මෙම ක්‍රීඩාංගණය පිළිබඳව විවිධ මත ඉදිරිපත් වූ අතර, පාර්ලිමේන්තුවේදීද මේ පිළිබඳව විවිධ ප්‍රකාශ සිදුවෙන අයුරු මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි. සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය වසා දැමීමට කටයුතු නොකර නැවත එය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව කඩිනමින් සොයා බලන බව වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට සිදුකළ සංචාරයකදී පැවසීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, ක්‍රීඩා තරග සඳහා පැමිණෙන ක්‍රීඩකයන් සඳහා නවාතැන් ගැනීමට සුදුසු හෝටල් පද්ධතියක් ක්‍රීඩාංගණය අාශ්‍රිතව ඉදිකළ යුතු බවයි. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු ආයතනයක් බවට පත්කිරීම පිළිබඳව ඇති හැකියාව සොයාබලන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සඳහාද ක්‍රීඩාංගණයක් ලෙස සූරියවැව නම්කර තිබුණද, ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඒ සඳහා ක්‍රීඩාංගණය සූදානම් කරන බවක් පෙනෙන්නට නොමැත.කෙසේවෙතත් විශාල මහජන මුදලක් වියදම් කර ඉදිකළ මෙවැනි මහජන දේපොළක් විනාශයට යාමට ඉඩහැර තිබීම නම් කිසිසේත් අනුමත කළ නොහැකි බව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන්ගේ අදහසයි. වහාම ක්‍රීඩා බලධාරීන්ගේ හා රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානයට මේ සඳහා යොමු නොවු‍ණහොත් දිනෙන් දින මෙහි සිදුවෙමින් යන විනාශය දැරිය නොහැකි වනු ඇති බව නම් පැවසිය යුතුය.

Comments

comments

SHARE