ජාතික ස්නූකර් ශූරයා ෆාසිල්

74
0

දශක දෙකකට ආසන්න කාලයක් ජාතික ස්නූකර් මේසයේ රජ කළ සුපිරි ක්‍රීඩක සුසන්ත බොතේජුගේ ආධිපත්‍ය බිඳ දැමූ යොවුන් ක්‍රීඩක මොහොමඩ් ෆාසිල් 64 වැනි ජාතික ස්නූකර් ශූරතාව දිනාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සංගමය මගින් සුගතදාස හෝටල් සංකීර්ණයේ සිය සංගම් ශාලාවේ පසුගියදා පැවැත්වූ මේ තරගාවලියේ අවසන් මහා තරගයේ දී තරග වට 6-1ක් ලෙස ෆාසිල් අතින් පරාජයට පත්වූයේ ශ්‍රි ලංකා යුද හමුදාවේ ක්‍රීඩක මොහොමඩ් මුබීන්ය.

මීට පෙර ජාතික කනිෂ්ඨ ස්නූකර් ශූරතාව පිට පිට තුන්වරක් දිනා ඇති ෆාසිල් සිය ජාතික ස්නූකර් ශූරතාව දිනාගනු ලැබුවේ පළමු වරටය. අවසන් මහා තරගයේ පළමු වට තුනම ලකුණු 64-22ක්, 60-23ක්, 117-15ක් ලෙස ජයගත් ෆාසිල් සිවුවැනි වටයේදී ලකුණු 25-65ක් ලෙස මුබීන් හමුවේ පරාජයට පත්වූවත් අනතුරුව 68-61ක්, 54-23ක් සහ 76-32ක් ලෙස ඉතිරි තරග වට ජයගත්තේය.

මෙවර තරගාවලියේ ආරම්භයේ සිටම තියුණු සටනක නිරත වූ හිටපු ස්නූකර් ශූර සුසන්ත බොතේජු මෙවර ශූරතාවත් දිනාගනු ඇතැයි අනාවැකි පළවූවත් අවසන් පූර්ව තරගයේ දී වට 5-1කින් ෆාසිල් හමුවේ පරාජයට පත්ව තරගාවලියෙන් ඉවතට විසිවිය. මොහොමඩ් මුබීන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පුර්ව තරගයේදී වට 5-4කින් එම්.එස්.එම්. රෂීඩ් පරාජයට පත් කරමිනි.

යූ.ඩබ්. සුමතිපාල අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැති මේ තරගාවලියේ ත්‍යාග හා කුසලාන පිරිනැමීම සුමති සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඊට ශ්‍රි ලංකා බිලියඩ් සහ ස්නූකර් සංගමයේ සභාපති සුරෙයිස් හෂීම් මහතා ඇතුළු සංගමයේ නියෝජිතයෝ රැසක් එක්වූහ.

Comments

comments

SHARE