තහනම් ගමන් ගිය පළමු කඩුලු රකින්නා

579
0

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනාගන්නා සමයේ ලොව නම් දැරූ කඩුලු රකින්නන් වූයේ ඇලන් නොට් සහ රොඩ්නි මාෂ් දෙදෙනාය.ලොව ප්‍රමුඛම ක්‍රීඩා විචාරකින් ඔවුන් දෙදෙනා වර්ණනා කලේ හිතේ හැටියටය. ශ්‍රී ලංකා පිල තම පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් කඩුලු රකින්නා ලෙස නම් කලේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලෙන් තිලිණ කල අසා දැක පුරුදු නැති කඩුලු රකින්නෙකි. කොළබ සුපිරි පන්තියෙන් දායාද නොවූ මොහු කවුරුන්දැයි මෙරට විචාරකින් පවා ඇනුම් පද කීවේය. මහේෂ් ගුණතිලක නම් මේ නිහඩ ක්‍රීඩකයා දිනක් බස් රථයෙන් ගමන් කරද්දී මේ ඔහු බව නොදත් තරුණයන් දෙදෙනෙකු අතර මාතෘකාව වුයේද මේ කඩුලු රකින්නා කවුරුන්ද යන්නය. කිසිවෙකුගේ හෝ පන්දමකට ජාතික පිලට රිංගා ගත් අයෙකු බවට  ඔවුන් කල සංවාදය අසා සිටි මහේෂ් තම තරම පෙන්වන්නම් යැයි හිතින් හිතුවාට සැක නැත.

unnamedසියලු පූර්ව නිගමන සුනු විසුනු කල මහේෂ් ගුණතිලක මෙරට ටෙස්ට් ඉතිහාසයේ පළමු කඩුලු රකින්නා වීමේ දුර්ලභ වරම අමරණීය කලේ ටෙස්ට් තරගය අවසන සියලු විචාරක සහ ප්‍රේක්ෂක ගෞරවය නොබදව ලබමිනි. කඩුල්ල පිටුපස සිට ක්ෂණික පා හැසරවීමත් අදහාගත නොහැකි සුරක්ෂිත දෑතත් වේග පන්දු යවන්නන් හමුවේ හිස් ආවරණ නොමැතිව කඩුල්ල අසලම කල විශ්මිත කඩුලු රැකීමත් යන සියලු අංගයන් එක්වූ මේ චමත්කාර කඩුල්ල පිටුපස රංගනය ටික දිනකින්ම බහුතර සිත් පැහැර ගත්තේ ඔහු ඇලන් නොට් සහ රොඩ්නි මාෂ් දෙදෙනා අතරම සම තැන රදවමිනි.

එවකට ඩන්කන් වයිට් සමයේ මෙරට තුන් පිම්ම ශුරයෙකු වූ මහේෂ් ගේ පියා උග්‍ර ක්‍රිකට් රසිකයෙකුද විය.එකළ මෙරට සංචාරය කල කොදෙව් පිල හමුවේ නිල නොවන තරගයකදී ආරම්භක පිතිකරු ලෙස  ශතකයක් ලත් කඩුලු රකින්නා වූ මහේෂ් රොද්‍රිගු පිළිබද මතකය නිසාවෙන් තම අලුත උපන් කුමරාට මහේෂ් ලෙස පියා නම් තැබීය. කාලය කොතරම් අපුරු දෑ වෙන්කර තබනවාද යනු පසු කලෙක වසර 30 කට  පසු එකී මහේෂ් ශ්‍රී ලංකා නිල ටෙස්ට් පිටියේ කඩුලු රැක්කා පමණක් නොව විටක සිදත් වෙත්තමුණි සමග ආරම්භක පිතිකරුවාද විය.

මහේෂ් ගුණතිලකගේ ළමා කල වීරයා වූයේ මොහමඩ් අලි ය. එවකට බොක්සින් වළල්ලේ මොහතින් මොහොත පාද හසුරවමින් සහ දෑත වෙනස් කල අලිගේ තරග  රටාව මහේෂ්ට  තදින්ම  හිතට කා වැදුනි.ක්‍රිකට් පිටියේ කඩුලු රකින්නාගේ භූමිකාවත් මීට සමාන බව වටහාගත් ඔහු මොහමඩ් අලිගේ පුහුණු රටාවෙන් උදුරාගත් ” Skipping rope ” හෙවත් ලණු පැනීම වැඩි වැඩියෙන් ප්‍රගුණ කරන්නට විය. එවකට දිනකට අවම තරමින් දහස් වාරයක් Skipping rope කල මහේෂ්ට  ක්ෂණික පාද හැසිරවීම අරුමයක් නොවීය.

ඔට්ටපාළු බෝලයක් සෙල්ලමට ගැනීම එකළ සුලබය. මහේෂ් ගුණතිලක ඉන් හොදටම  වැඩ ගත්තේය. ඔට්ටපාළු බෝලය බිත්තියට ගසා යලි පෙරළා   අල්ලා ගැනීම විනෝදයක් උවත් මහේෂ් ඉන් උගත්තේ කඩුල්ල පිටුපස සිට අනපේක්ෂිත ලෙස දග කවෙන පන්දුව හදුනා ගැනීමත් ,පිත්තේ වැදී යලි පෙරළා එන උඩපන්දු අපහසුවකින් තොරව අත් ආවරණ තුලට ගොනු කර ගැනීමත්ය. අවස්ථා කීපයකදීම  මහේෂ් ගේ කාමර සගයා වූ සිදත් වෙත්තමුණි මහපාන්දර අවදිවූයේ ඔට්ටපාළු බෝලයෙන් සෙල්ලම් කරන මහේෂ් දැකීමෙනි. එය හෙට තරගය වෙනුවෙන් පෙරහුරුවක් බව වටහා දුන් මහේෂ් පසුදා අජිත් ද සිල්වා සහ  ඩි.එස් ද සිල්වා හමුවේ තියුණුව දගකැවෙන පන්දු කඩුල්ල පිටුපස සිට හොදින්ම රැක්කේය.

1982 පාකිස්ථාන සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ ෆෛසලබාත් පිටියේ මිනිත්තු 200ක කාලයක්  කඩුල්ලේ රැදෙමින් පාකිස්ථාන ජයග්‍රහණය පමා කල මහේෂ් ආරම්භක පිතිකරු ලෙස පිවිස 8 වන විකට්ටුවට  දැවී යද්දී ලැබූ අර්ධ ශතකය ඔහුගේ හොදම ටෙස්ට් ඉනිමයි.

ශ්‍රී ලංකා ටෙස්ට් පිටියේ දිගු ගමනක පෙර නිමිති පල කරමින් සිටි මහේෂ් ඇතුළු දක්ෂයින් රැසක් එක් රැයකින් ක්‍රිකට් පිටියට සමු දුන්නේ තහනම් දකුණු අප්‍රිකා සංචාරයකට එකතුවෙමිනි.කළු- සුදු භේදය නිසාවෙන් ලොවම  දකුණු අප්‍රිකාව ක්‍රීඩාවෙන් කොන් කරද්දී තහනම් ගමනක් ගිය ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිසට මෙරට පාලකින් වසර 25 ක තහනමක් පැනවිය. පසු කලෙක මෙම කාලසීමාව අඩු කෙරුණත් ඒ සියල්ලන්ගේ හොදම කාලය වියැකී ගොස් තිබුණි.

එදා මහේෂ් කඩුලු රකින්නා ලෙස ඇති කල හිඩැස පියවන්නට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වසර ගණනක් බලාසිටින්නට සිදු විය. 1992 දී රොමේෂ් කලුවිතාරණ කණ්ඩායමේ ස්ථාවර වන තෙක් වසර 10 ක් කඩුලු රකින්නන් රැසක් කණ්ඩායමට ආ වේගයෙන්ම පිටතටද විසි විය.

තමාටම ආවේනික  පුහුණුවීම් රටාවක්  තුලින් කඩුල්ල පිටුපස රාජකාරිය අකුරටම ඉටුකළ මහේෂ් ගුණතිලක අද දවසේ දහමට වැඩි කැමැත්තක් සහිත නිහඩ දිවි පෙවෙතක් ගෙවන්නේය. මාස 8 කට සහ ටෙස්ට් තරග 5  කට පමණක් ජාතික පිල නියෝජනය  කෙටි වූ නමුත් මෙරට ටෙස්ට් පිටියේ පළමු කඩුලු රකින්නා ලෙස ඔහු තැබූ අමරණීය වාර්තාව නිහඩ නොවනු ඇත.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE