අශ්වින් නවසීලන්තය වනසයි

349
0

ඉන්දීය පිලේ සුපිරි දඟපන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 6ක් දවාලමින් ඊයේ සංචාරක නවසීලන්තය සමග ඉන්දියාවේ ඉන්දෝර් හී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ දී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිල ලකුණු 299කට සීමා කළේය.

ඒ ඉන්දියාව පළමු ඉනිමේ දී කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 557ට පිළිතුරු වශයෙනි. ඊයේ අවසන් මොහොතේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියාව කිසිවකු නොදැවී ලකුණු 18ක් ලබා සිටි අතර නවසීලන්තයට වඩා ලකුණු 276ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 10ම අතැතිවය.

පෙරේදා තරගයේ දෙවැනි දිනය නිමාවනවිට කඩුලු ‍කිසිවක් නොදැවී ලකුණු 28ක් ලබා සිටි නවසීලන්තයට ප්‍රබල පීඩනයක් ගෙන දුන් අශ්වින් ඉන්දියාවට හිසරදයක් ගෙනදුන් පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 118කදී බිඳ දැමීමට සමත්වූ අතර අනතුරුව මැදපෙළ කඩා බිඳ දැමුවේය. පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසුව තවත් ලකුණු 30ක් ඇතුලත කඩුලු 4ක්ම බිඳ වැටුණේ අශ්වින්ගේ පන්දු හමුවේය. ආරම්භක පිතිකරුවන් වන මාටින් ගප්ටිල් ලකුණු 72ක් ද, ටොම් ලේතම් ලකුණු 53ක්ද රැස් කළ අතර මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5කට ලකුණු 148ක්ව තිබියදී පිටියට පිවිසි බී.ජේ.වොට්ලින් මැදපෙළ පිතිකරු ‍ජේම්ස් නීෂම් හා එක්ව ඉනිම ගොඩ නැගුවේය. සෙසු පිතිකරුවන් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අසරණ වෙද්දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නීෂම් ලකුණු 71ක් රැස් කිරීමට සමත්වීම කැපී පෙනුණි.

Comments

comments

SHARE