රග්බි සංගමය වේවැල අතට ගනී

131
0

දේශීය රගර් ක්‍රීඩාවේ ජීවගුණයත්. රගර් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවත් රැක ගැනීමේ අරමුණ ඇතිව යම්කිසි ක්‍රීඩා සංගමයකින් හෝ සංවිධානයකින් පවත්වනු ලබන සෑම රගර් තරගමාලා සඳහා තම සංගමයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා රගර් සංගමය තීරණය කරයි. රගර් ක්‍රීඩාවේ පැවැත්ම උදෙසා කටයුතු කිරීම මවු සංගමය ලෙස ශ්‍රී ලංකා රගර් සංගමයේ වගකිම හා යුතුකම බව මේ තීරණය පිළිබඳ srilankasports කළ විමසුමක දී රගර් සංගමයේ උපසභාපති ලසිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

‘මෙවැනි ප්‍රමිතියකින් තොර රගර් තරගාවලි පිළිබඳ අපට පැමිණිලී අතිවිශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩාවේ යහපැවැත්ම උදෙසා මෙවැනි තීරණ ගැනීම ඉතා වැදගත්. මින් ඉදිරියට අපේ සංගමයේ අනුමැතියකින් තොරව පැවැත්වෙන කිසිම රගර් තරගාවලියකට තරග තීරකවරු හෝ විනිසුරුවරු ලබා දෙන්නේ නෑ. රගර් සංගමයේ අනුමැතිය ලබාගැනීමට එම තරගාවලිය සඳහා වන නීතිරිති, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකය සහ ක්‍රීඩා පිටියේ තත්ත්වය ගැන අපිට කරුණු ඉදිරිපත් කළ යුතුයි. ඉන් පසුව අප ඒ ගැන සොයා බලා අනුමැතිය ලබාදීමට පියවර ගන්නවා.‘ ඔහු කීවේය. පසුගියදා පැවැති අවුරුදු 12න් පහළ දස සාමාජික රගර් තරගාවලියක් පිළිබඳ කරුණු පැහැදිලි කළ ලසිත ගුණරත්න මහතා කියා සිටියේ එම තරගාවලිය කිසිසේත්ම රගර් තරග නීතිරීතිවලට අනුකූලවූ එකක් නොවන බවකි. ‘සාමාන්‍ය පරිදි රගර් තරගයක් සඳහා එක් පැත්තකට මීටර් 50ක්වත් තිබිය යුතුයි. ඒ වගේම තරගයක එක් අර්ධයක් සඳහා මිනිත්තු 10ක් වත් තිබිය යුතුයි. තරග වදින ක්‍රීඩකයන් ඉදිරිපෙළට 5ක් සහ පසුපෙළට 5ක් වශයෙන් බෙදා වෙන් කළ යුතුයි. නමුත් යම් කිසි හේතුවක් මත මෙය වෙනස් කිරිමට තරග සංවිධායකයන්ට බලය තිබෙනවා. නමුත් එසේ වෙනස් කරන්නේ නම් ඒ සඳහා පැහැදිලි හේතු තිබිය යුතුයි. එමෙන්ම එය ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි සැළකිල්ලකින් යුතුව කළ යුතුයි. මේ කියන තරගාවලිය පවත්වා ඇත්තේ එක ක්‍රීඩාංගණයක් තුනට බෙදලා. ඒ කියන්නේ ක්‍රීඩාවට අවශ්‍ය පිටියේ ප්‍රමාණයවත් මෙහි තිබිලා නෑ. ඒ වගේම කාලය මිනිත්තු 5කට අඩු කොට තිබෙනවා. ඒ වගේම ඉදිරිපෙළ ක්‍රීඩකයන් ප්‍රමාණය 3කට අඩු කොට පසුපෙළ ක්‍රීඩකයන් ප්‍රමාණය වැඩි කොට තිබෙනවා. මිටර් 30කට අඩු කළ පිටි ප්‍රමාණයක කොහොමද ක්‍රීඩකයන් රගර් වැනි ක්‍රීඩාවක් කරන්නේ.‘ උපසභාපතිවරයා පැහැදිලි කළේය.

‘ඔක්තෝබර් වැනි වසරේ අවසන් භාගයේ තරග පැවැත්වීමත් ගැටලුකාරී තත්ත්වයක්. අවුරුද්ද පුරාම පුහුණුවිම් කරලා අන්තිමේදී මේ පුංචි ක්‍රීඩකයන්ට අවුරුද්ද අන්තිමේදී දින දෙකක් වැනි සුලු කාලයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව දෙනවා නම් එහි කිසිම ඵලයක් නෑ.‘ ලසිත ගුණරත්න මහතා වැඩි දුරටත් කීවේය. ‘මින් පසුව නිසි ප්‍රමිතියකින් තොර කිසිම රගර් තරගාවලියක් පවත්වන්න අප ඉඩ දෙන්නේ නෑ. අපේ අනුමැතියකින් තොරව පැවැත්වෙන එවැනි තරගාවලි සඳහා අපි වග කියන්නෙත් නෑ. ඒ සඳහා තරග විනිසුරුවරුන් ලබා දෙන්නෙත් නෑ. මෙය වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කළ යුතු බව අප සියලුම සංගම්වලට දන්වා තිබෙනවා.‘ ඔහු පැවැසීය.

Comments

comments

SHARE