දින හතරේ ටෙස්ට් තරග යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට

423
0

ටෙස්ට් ක්‍රිකට් තරග ඉදිරියේදී දින 4ක් තුළ පැවැත්වීමේ යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කරන බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (10දා) ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

ටෙස්ට් තරගාවලි කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට කලින් ගෙන ආ යෝජනාවක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් විරුද්ධ වීමෙන් ඉවත් කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව මෙහිදී අනාවරණය විය.

ශ්‍රී ලංකාව කළ යෝජනාවට ඉන්දියාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ, පාකිස්තානය එකඟ වූ අතර, ටෙස්ට් වරම් ලබා නොමැති රටවල් කොන් නොකර ඔවුන්ට ඉක්මනින් ටෙස්ට් වරම් ලබා ගැනීමට උදව් කළ යුතු බවද සුමතිපාල මහතා මෙහිදී සඳහන් කළේය.

එළැඹෙන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේදී ප්‍රිමියර් ලීග් ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 14ක් ඇතුළත් වන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

මේ අනුව පළමු වටයේදී කණ්ඩායම් 14ක් තරග වැද ඉන් කණ්ඩායම් 8ක් සුපිරි 8 වටයට සුදුසුකම් ලබන අතර, සෙසු කණ්ඩායම් 6 පළඟ තරගාවලියට එක්වන බව මෙහිදී සඳහන් විය.

සුපිරි 8 වටයේ තරග සිව්දින තරගාවලියක් ලෙස රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කරන අතර, පළඟ ශූරතා තරගාවලිය තුන් දින තරග ලෙස පැවැත්වේ.

ප්‍රිමියර් ලීග් ‘බි’ කොටසේ තරගාවලියට කණ්ඩායම් 10ක් ඇතුළත්ව ඇති අතර, එය ලීග් තරගාවලියක් ලෙස පැවැත්වෙන බවද මෙහිදී අනාවරණය විය.

ප්‍රිමියර් ලීග් එක්දින සහ 20-20 තරග සඳහා කණ්ඩායම් 24ම සහභාගි වන අතර, කාණ්ඩ 4ක් යටතේ තරගාවලිය පැවැත්වේ.

අන්තර් පළාත් තරගාවලිය කණ්ඩායම් 4ක් යටතේ පැවැත්වෙන අතර, බස්නාහිර පළාත, දකුණු පළාත, මධ්‍යම පළාත සහ උතුරු මැද පළාත තරග වදින අතර, ප්‍රේමදාස පිටිය, ගාලු පිටිය, පල්ලෙකැ‍ලේ සහ දඹුල්‍ලේදී තරග පැවැත්වීමට සැලසුම්කර තිබේ.

පළාත් තරගාවලිය සිව්දින ලීග් තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර, පළාත් එක්දින සහ 20-20 තරගාවලිය එක් කණ්ඩායමක් සමග තරග දෙක බැගින් ක්‍රීඩා කළ හැකිවනසේ පැවැත්වීමටත්, අවසන් තරග දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමටත් සැලසුම් කර තිබේ.

මේ අතර ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුකූල නොවන අයුරින් කටයුතු කර ඇති ක්‍රීඩා සමාජ 9කට තාවකාලික තහනමක් පැනවීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මේ අනුව ඔවුන්ට ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන පහසුකම් අත්හිටුවෙන අතර, තරගාවලි වලට ක්‍රීඩා කිරීමට පමණක් අවසර ලබා දී තිබේ.

මෙම රතු එළිය බදුරලිය, බ්ලූම්ෆීල්ඩ්, මීගමුව, කොල්ලුපිටිය, නොමැඩ්ස්, පීටර්සන් ක්‍රීඩාසමාජවලටද, දකුණු පළාත් සංගමය, මාතර සහ පුත්තලම දිස්ත්‍රික් සංගම්වලටද බලපැවැත්වේ.

මේ අතර අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් 65 දෙනකු කොන්ත්‍රාත් ලැයිස්තුවට ඇතුළත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබෙන බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.

මේ අනුව තරුණ ක්‍රීඩකයන් 24 දෙනෙක්ද, නැගීඑන ක්‍රීඩකයන් 24ක්ද, ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 17ක්ද කොන්ත්‍රාත්ගත කර තිබේ.

ලබන දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවු. 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් මිලියන 200ක් වෙන්කර ඇති බවත්, තරගාවලිය වාර්ෂිකව පැවැත්වීමට අදහස් කරන බවත් සුමතිපාල මහතා පැවැසීය.

පළාත් මට්ටමින් ක්‍රීඩාව දියුණු කිරීමට දඹුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර ආශ්‍රිතව සහ බදුල්ල සහ යාපනයේත් ක්‍රිකට් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බවද සුමතිපාල මහතා පැවැසීය.

අධික වියදමක් දරා නිම කළ සූරිය වැව ක්‍රීඩාංගණයටද ඉදිරියේදී තරග ලබාදීමට කටයුතු කරන බව ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සුමතිපාල මහතා පැවැසීය.

අන්තර් ක්‍රීඩා සමාජ කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ලැයිස්තුව තරුණ ක්‍රීඩකයින් 24යි

(අවු. 20-23 අතර)

වනිඳු හසරංග, විෂාද් රන්දික, මනෝජ් සරත්චන්ද්‍ර, කවිඳු කුලසේකර, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රියමාල් පෙරේරා, සහන් නානායක්කාර, ලහිරු මිලන්ත, මිනෝද් භානුක, ලසිත් අබේරත්න, පබසර වඩුගේ, සඳුන් වීරක්කොඩි, ඇන්ජලෝ ජයසිංහ, අනුක් ප්‍රනාන්දු, ෂෙහාන් මධුසංඛ, අසිත ප්‍රනාන්දු, චරිත් අසලංක, ලහිරු කුමාර, හෂාන් දුමිඳු, බිනුර ප්‍රනාන්දු, අඛිල ධනන්ජය, කසුන් රාජිත, තරිඳු කෞෂාල්

නැගී එන ක්‍රීඩකයින් 24යි

(අවු. 23-29 අතර)

මධුක ලියනපතිරණ, සන්ජය චතුරංග, ලහිරු මධුසංඛ, භානුක රාජපක්ෂ, උමේෂ් කරුණාරත්න, ගමිඳු කණිෂ්ක, එම්.එන්.එම්. ඩිල්ෂාඩ්, කසුන් මධුසංඛ,

රොමේෂ් බුද්ධික, විමුක්ති පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, මාධව වර්ණපුර, මලින්ද පුෂ්පකුමාර, සචිත්‍ර සේරසිංහ, ප්‍රභාත් ජයසූරිය, ෂෙහාන් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, රමිත් රඹුක්වැල්ල, උදාර ජයසුන්දර, චතුරංග ද සිල්වා, අශාන් ප්‍රියන්ජන්, චමින්ද බණ්ඩාර, ලහිරු ගමගේ, උසුරු උදාන

‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 17යි

(අවු. 30ට වැඩි)

නිසල් රන්දික, ටී.එන්. සම්පත්, ගයාන් සිරිසෝම, නදීර නාවල, චරිත බුද්ධික, අසේල ගුණරත්න, මහේල උඩවත්ත, ජීවන් මෙන්ඩිස්, හසන්ත ප්‍රනාන්දු, අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දීව්, ෆර්වීස් මහරූෆ්, නුවන් කුලසේකර, තරංග පරණවිතාන, චාමර සිල්වා, ඩිල්හාර ප්‍රනාන්දු, ජෙහාන් මුබාරක්

Comments

comments

SHARE