මෙරට ප්‍රමුඛ ක්‍රිකට් සමාජ 9 කට තහනමක්

306
0

ව්‍යවස්ථාව අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජයක් වන කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජයද ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් 9 දෙනකුට සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඉදිරියේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය සඳහා සහභාගි වීමට මෙම ක්‍රීඩා සමාජ වලට අවසර තිබෙන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව තම තමන්ගේ වගකීම් නිසි පරිදි සම්පූර්ණ කරන තුරු එම ක්‍රීඩා සමාජ වලට හිමි ගෙවීම් ඇතුළු අනෙකුත් වරප්‍රසාද කපා හරින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී සුමතිපාල මහතා මේ බව ප්‍රකාශ කළේය. ඇතැම් ක්‍රීඩා සමාජ 2012 වසරේ සිටම වාර්ෂික මහ සභා රැස්වීම පවත්වා නැති අතර තවත් ක්‍රීඩා සමාජ අයවැය වාර්තාව ඉදිරිපත් කර නැත. අයවැය වාර්තාව විගණනය නොකළ සාමාජිකයන් කිහිප දෙනකුද සම්බාධක වලට මුහුණ දී සිටින සාමාජිකයන් අතරේ සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සම්බාධක පනවන ලද ක්‍රීඩා සමාජ අතරේ වසර 125 කට ආසන්න ඉතිහාසයක් සහිත (ආරම්භය 1892) බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජයද ඇතුළත් වෙයි. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර නියෝජනය කළේද බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජය වන අතර එහි සභාපතිවරයකු වූ උපාලි ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද සභාපතිවරයාව සිටියේය.

පළමු පෙළ ක්‍රීඩා සමාජයක් ලෙසින් වසර ගණනාවක්ම ක්‍රීඩා කළ බදුරලිය ක්‍රිඩා සමාජයද සම්බාධක ලයිස්තුවට ඇතුළත් වී තිබේ. එහි සභාපතිවරයාව සිටි සුමිත් පෙරේරා මහතා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහාත් ඉදිරිපත් වූ නමුත් අවසන් මොහොතේදී ඉල්ලා අස්විය.

“මේ වසර මුලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව විධායක කමිටුව පත්වීමෙන් පසුව, සියලුම සාමාජික ක්‍රීඩා සමාජ සහ සංගම් වලට තම තමන්ගේ ව්‍යවස්ථානුකූලව මහ සභා රැස්වීම් පවත්වන මෙන් උපදෙස් දුන්නා. එසේ උපදෙස් දුන්නේ ඇතැම් සාමාජික ක්‍රීඩා සමාජ 2012 සිටත් ඇතැම් ක්‍රීඩා සමාජ 2013 සිටත් තමන්ගේ වාර්ෂික මහ සභාව පවත්වා නැති බව දැනගැනීමෙන් පසුවයි” යයි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සටහන් විය.

මෙම ක්‍රීඩා සමාජ සහ සංගම් වලට කිසියම් සහන කාලයක් ලබාදෙන අතර එම කාලය තුළදී තමන්ගේ වැරදි නිවැරදි කරගැනීමෙන් පසුව නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හිමි වරප්‍රසාද ලබාගත හැකි බවත් සභාපතිවරයා පැවසීය.

සම්බාධක වලට මුහුණ දී සිටින ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම්
බ්ලූම්ෆීල්ඞ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය, බදුරලිය ක්‍රිකට් සමාජය, දකුණු පළාත් ක්‍රිකට් සංගමය, මීගමුව ක්‍රිකට් සමාජය, මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය, පුත්තලම දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය, කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය, නොමෑඞ්ස් ක්‍රීඩා සමාජය  සහ පීටර්සන් මාවත ක්‍රීඩා සමාජය

Comments

comments

SHARE