දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේදී

113
0

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංවිධාන කරනු ලබන දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 18වැනිදා සිට 23 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩංගණයේදී පැවැත්වෙයි. මේ සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල් 7ක් සහභාගීවන අතර එයට ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පිහිනුම් තරගාවලියක් වසර 10කට පසුව සංවිධාන කිරීම විශේෂත්වයක් වන අතර අවසන් වරට මෙවැනි තරග රැසක් ශ්‍රී ලංකාව තුළ පැවැතියේ වසර 2006දී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීය.

දකුණු ආසියාවේ නැගී එන පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 252ක් වෙනුවෙන් සටන් වදින ප්‍රබලතම පිහිනුම් ශූරතාවලිය වන මෙය වයස් කාණ්ඩ 3ක් යටතේ පැවැත්වේ. පිහිනුම් තරග 15න් පහළ, 18න් පහළ හා විවෘත අංශ වලින් පැවැත්වෙන අතර කිමිදුම් තරග කාණ්ඩ 4ක් යටතේ හා දිය පන්දු තරග 20න් පහළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කිලෝමීටර් 5ක් දුර විවෘත ජල පිහිනුම් ශූරතාව ඔක්තෝබර් 23දා ගාලු මුවදොර වෙරළ තීරයෙන් ආරම්භවී වැල්ලවත්ත දෙසට ගමන් කෙරේ.

මේ තරගාවලියට සහභාගීවන සියලුම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400ක් පමණවන අතර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 160ක් එක් වෙති. එයට පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85ක්, කිමිදුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25ක් හා දිය පන්දු සඳහා තරගකරුවන් 30ක් එක්වෙති. විවෘත ජල පිහිනුම් තරගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 20ක් සහභාගී වේ.

මේ තරගාවලියෙන් 2020 ඔලිම්පික් උළෙල සඳහා සූදානම් කළ යුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කල් ඇතිව හඳුනාගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය. මේ තරගාවලිය සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවැසූවේ ජල ක්‍රීඩා හා තවත් පදක්කම් දිනාගත හැකි ක්‍රීඩා කිහිපයකට ප්‍රමුඛතාව ලබාදීම ක්‍රීඩා අමාත්‍යාංශය සූදානමින් සිටින බවය. ඒ වෙනුවෙන් සංචිත ඇති කිරීමට ඒ ඒ ක්‍රීඩා සංගම්වලට උපදෙස් දී ඇතැයිද ඒ මහතා මෙහිදී පැවැසීය.

“පළාත් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණවල පිහිනුම් තටාක ඇති කොට තිබෙනවා. ඒවා සමග ජනප්‍රිය පාසල්වල ඇති පිහිනුම් තටාක සම්බන්ධ කොට රටපුරා දරුවන්ගේ පිහිනුම් ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩ පිළිවෙළක් පිළිබඳව ජල ක්‍රීඩා සංගමය සිතිය යුතුයි. ක්‍රීඩාවේ ප්‍රබෝධයක් ඇතිවන වැඩ පිළිවෙළ සංවිධානය ක්‍රීඩා සංගම්වල කාර්යයක්. අමාත්‍යාංශය ලෙස අපේ පූර්ණ සහය ලබා දෙනවා” ඇමැතිවරයා පැවැසීය. නිමාවට පත්වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී කලාපයේ ජල ක්‍රීඩා සංගම් ප්‍රධානීනන් හමුවී කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලිය සංවිධාන වූ බව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති කොමදෝරු ජයන්ත ගමගේ මහතා පැවැසීය.

Comments

comments

SHARE