ශ්‍රී ලංකාව සටන අත් නොහරී

1206
0
Sri Lanka's Dimuth Karunaratne, right, raises his bat as he celebrates scoring a century during the first day of the first test cricket match against West Indies in Galle, Sri Lanka, Wednesday, Oct.14, 2015. (AP Photo/Pamod Nilru)

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිවුදින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල දිනය නිමාවනවිට කඩුලු 4ක් දැවී ලකුණු 128ක් රැස්කරගෙන සිටියේ කොදෙව් පිල පළමු ඉනිමට රැස්කළ ලකුණු 509 පිළිතුරු ලෙසිනි. ඒ අනුව කඩුලු 6ක් අතැතිව සිටින ශ්‍රී ලංකාව කොදෙව් පළමු ඉනිම වඩා තවත් ලකුණු 381ක් පසුපසින් සිටී.

දිමුත් කරුණාරත්න පන්දු 124කදී හතරේ පහර 12ක් සමගින් ලකුණු 66ක් හා නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 2ක් සමගින් ලකුණු 38ක් (පන්දු 65) ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පිළිතුරු ඉනිම ඇරැඹු ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 19දී බිඳ දැමීමට කෙමර් රෝච් සමත් විය. තම මංගල පළමු පෙල තරගයට එක්වූ අවිශ්ක ප්‍රනාන්දු කඩුල්ල මුවා කිරීමේ වරද හසුවනවිට රැස්කර තිබුණේ ලකුණු 7ක් පමණි. ලකුණු 6ක් තුළ පිතිකරුවන් තිදෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යැවූ කොදෙව් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිමට ප්‍රබල තර්ජනයක් එල්ල කළේය.

ළහිරු තිරිමාන්නට යළිත් සාර්ථක වීමට අවස්ථාවක් ලබානොදුන් කියොන් ජෝශප් ඔහුගේ ඉනිම ලකුණු 3කට සීමා කළේය. තිරිමාන්නට පළමු තරගයේ ඉනිම දෙකේදී ලබාගත හැකිවූයේ ලකුණු 23ක් පමණි. මුළු ලකුණු 32කදී තිරිමාන්න දැවී ගිය අතර තවත් ලකුණු 5ක් එක්වෙද්දි රොෂෙන් සිල්වා ලකුණු ලබාගැනීමට පෙරද, චරිත් අසලංක එක් ලකුණකටද දවා ගැනීමට ජෝශප් හා කිරන් කොන්වල් සමත් වූහ.

එක් අන්තයකින් කඩුල්ල රැක ගනිමින් හුදකලා සටනක නිරතවූ නායක දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා පිල පීඩනයෙන් ගලවා ගැනීමට එක්වූ නිරෝෂන් දික්වැල්ල දිනය නිමාවනවිට ලකුණු 91ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා තිබිණි.

පන්දු යැවීමේදී කියන් ජෝශප් කඩුලු 2ක් දවාලීය.

කඩුලු 5කට ලකුණු 331ක් ලබාසිටියදී ඊයේ තරගයේ දෙවැනි දිනය ඇරැඹු කොදෙව්වෝ තවත් ලකුණු 178ක් රැස් ගනිද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුලු 4ක් පමණි. විශාවුල් සිං (නොදැවී 81) සමගින් ඊයේ පිටියට පිවිසියේ පෙරේදා දිනයේ ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු රාජෙන්ද්‍ර චන්ද්‍රිකය. ඔවුන් දෙදෙනා 6වැනි කඩුල්ලට ලකුණු 54ක් එක්කරමින් සිටියදී චන්ද්‍රික, ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. පන්දු 148කට මුහුණදුන් ඔහු හතරේ පහර 9ක් සමගින් ලකුණු 84ක් වාර්තා කළේය. අනතුරුව පිටියට පිවිසි කෙමර් ‍රෝච්, සිංට අනගි සහයක් ලබාදෙමින් මුළු ලකුණු සංඛ්‍යාව 475 දක්වා ඉදිරියට ගෙන ගියේය. ලකුණු 90කින් ගොඩනැගුණු එම සබඳතාව බිඳ වැටුණේ චරිත් අසලංකගේ පන්දුවක් හමුවේ රෝච් ලකුණු 39කට දැවී යෑමෙනි. ලකුණු 494දී 8වැනි කඩුල්ල ලෙස ගුඩාකේෂ් මෝටි (9) දැවී ගිය අතර 9වැනි කඩුල්ල ලෙස විශාවුල් සිං දැවී යෑමත් සමග ඉනිම අත්හිටුවීමට කොදෙව් පිල තීරණය කළේය. එම කඩුලු 2 අසලංකගේ පන්දු හමුවේ බිඳ වැටිණි. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 509ක් විය. ලකුණු 161ක් රැස්කළ සිං ප0න්දු 306කට මුහුණදෙමින් හතරේ පහර 16කින් ඉනිම සරසා ගත්තේය. පන්දු යැවීමේදී චරිත් අසලංක කඩුලු 4ක් දවාගත්තේය.

අද තරගයේ තෙවැනි දිනයයි.

කොදෙව් ‘ඒ’ පළමු ඉනිම – 509/9යි. (ඕවර 137.4) ඉනිම අත්හිටුවන ලදි. වි‍ශාවුල් සිං 161, ජමාර් හැමිල්ටන් 99, රාජේන්ද්‍ර චන්ද්‍රික 84 (චරිත් අසලංක 104/4)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 128/4යි. (ඕවර 40) දිමුත් කරුණාරත්න‍ නොදැවී 66, නිරෝෂන් දික්වැල්ල නොදැවී 38 (කියන් ජෝශප් 4/2)

Comments

comments

SHARE