ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකා කන්ඩායම නම් කරයි

140
0

පාඤ්ඤයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා නම් කරනු ලැබීය. ක්‍රීඩකයන් 10 දෙනකු සහ ක්‍රීඩිකාවන් 9 දෙනකු ඇතුළත් මේ කණ්ඩායම තෝරාගැනීම සඳහා පසුගියදා තේරීමේ තරගාවලියක් පැවැත්වූ අතර එහි දී වැඩි දස්කම් පෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය පියවර ගෙන තිබේ. මේ තේරීමේ තරගාවලියට පසුගිය වසරේ පැවැති ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ සිට පසුගියදා අනුරාධපුරයේ දි නිමාවට පත්වූ ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය දක්වා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවු අවුරුදු 19න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූහ.

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම මීට පෙර ජාතික කනිෂ්ඨ තරගාවලිය තුලින් පමණක් සිදුකරනු ලැබුවත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මෑතක සිට ඒ සඳහා දීපව්‍යාප්තව පවත්වනු ලබන විවිධ ශ්‍රේණිගත කිරීමේ තරගාවලි කෙරෙහි ද අවධානය යොමු කිරීමට කටයුතු යොදා ඇත්තේ දස්කම් සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනකුට අවස්ථාව ලබාදීමේ අරමුණ ඇතිවය.

කෙසේවෙතත් ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා විශාල මුදලක් සොයා ගැනීමට සිදුවී ඇති බැවින් ඔවුන්ගේ මවුපියන් දැඩි අපහසුතාවට පත්වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. ලෝක බැඩ්මින්ටන් සංගමයෙන් මූල්‍යමය ආධාර සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තරගාවලියට යාමට ගුවන් ටිකට්පත් ලැබී තිබුණත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෙසු වියදම් සඳහා තවත් විශාල මුදල් ප්‍රමාණයක් සොයාගැනීමට සිදුවීම පිළිබඳ ඔවුන්ගේ මවුපියන් දැඩි කනස්සල්ලට පත්වී ඇතැයි ද වාර්තා වෙයි. මේ පිළිබඳ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් වින්ග් කමාන්ඩර් අමල් ඩයස් මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමක දී ඒ මහතා කියා සිටියේ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් පන්දහසක මුදල සංචාරයට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර බෙදා දෙන බවය. මීට අමතරව සංචාරය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ගුවන් ටිකට්පත් ලබා දීමට කටයුතු යොදා තිබුණත් තරගාවලිය අතරතුර නවාතැන් පහසුකම් සහ ආහාර පාන සපයා ගැනීම ඊට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දැරිය යුතු බව අමල් ඩයස් මහතා සඳහන් කළේය. ඕනෑම විදේශ තරගාවලියකට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා වැයවන අමතර මුදල් අනුග්‍රාහකයන් මගින් සපුරාගැනීමට සිදුවීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙත බව ද ඒ මහතා පැවසීය.

ලබන නොවැම්බර් මස 8 වැනිදා සිට 13 දක්වා පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ඕෂධ පණ්ඩිතරත්න මහතා කටයුතු කරන අතර ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස රේනුකා විමලසූරිය මහත්මිය කටයුතු කරන්නීය. ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස චමීර කුමාරප්පෙරුම මහතා ද, ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස සුභාෂ් ජානක මහතා ද කටයුතු කරති.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය – (බාලක) ෂාමික හසරංග, කසුන් අමරසේන, පසිඳු පල්ලියගුරුගේ, තෙවින් රාහුබද්ධ, තිළිණ ගෝනාපීනුවල, මධුක දුලාංජන, රන්තුෂ්ක සසිඳු, උමිඳු ලියනගේ, සෙව්මින ගුණතිලක, එම්.ආර්.එම්.ෂාදිර්. (බාලිකා) දිල්මි ඩයස්, හසිනි අම්බලන්ගොඩගේ, කවිෂ්කා ගුණරත්න, ඉනුරි කුරුප්පු, අනුරංගි හෙට්ටිආරච්චි, නයනතාරා ටෙෂානී, බුත්මි ගලගමගේ, හසාරා විජයරත්න

Comments

comments

SHARE