ඔස්ට්‍රේලියාව අවසන් තරගයත් පරදී

298
0

ඔස්ට්‍රේලියානු එක්දින තරග ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ දකුණු අප්‍රිකානුවෝ කේප් ටවුන් හී නිව්ලෑන්ඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ  පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 31 ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ පළමු වැනි 5-0 ක එක්දින තරගාවලි පරාජයද දකුණු අප්‍රිකානුවෝ කැන්ගරුවන්ට ඉතිරි කළහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 8 කට රැස් කළ ලකුණු 327 හඹා ගිය ඕස්ට්‍රේලියානුවන්ට ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 296 ක් පමණි.

ප්‍රවේගකාරී පිතිහරඹය නිරතවූ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් මෙවර තරගාවලියේ සිය දෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ඉනිමේ අවසාන හරිය වනතුරු කඩුල්ලේ රැඳී සිටිමින් සත්කාරකයන්ගේ හෘද ස්පන්දනය වැඩි කරමින් ජයග්‍රහණය තරමක් පමා කරවීය. ඔහුගේ හයියට කිසිවකු සිටියේ නම් තරගයේ තීරණය වෙනස්වීමට ද ඉඩ තිබිණි.

වචනයේ  පරිසමාප්ත අර්ථයෙන්ම හුදෙකලා සටනක යෙදුණු මේ වමත් පිතිකරුවා ඊයේ දැවී ගියේ සිය එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 6 ක් අඩුවී තිබියදීය. පන්දු 136 කට මුහුණු දුන් වෝනර් පන්දුව ඉහළින් නොයවන්නට කෙතරම් පරිස්සම් සහගත වූවාද කිවහොත් ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් හෝ ගැසුවේ නැත. ඊට එක්වූයේ හතරේ පහර 24 ක් පමණි.

ඉනිමේ 48 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් ඔහු 9 වැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී යනවිට මුලු ලකුණු සංඛ්‍යාව 288 ක් ලෙස සටහන්ව තිබිණි.

සත්කාරක පන්දු යවන්නන්ගෙන් ලද පීඩනය කෙතරම් ද කිවතොත් ඒරන් ෆින්ච්ට සහ වෝනර්ට පළමු කඩුල්ලට ලකුණු 72ක් (ඉන් වැඩි හරියක් ලකුණු වෝනර්ගෙනි) ගොඩනැගීමට ඕවර 13.4 ක්ම වැයවිය. මුල සිටම අමාරුවේ වැටී සිටි ෆින්ච් 14 වැනි ඕවරයේදී දැවී ගියේ ඉම්රාන් තාහීර්ගේ විමතිය දනවන සුලු පන්දුවකිනි.

පන්දුව ෆින්ච්ගේ කඩුල්ල තුළට රිංගුවේ ඇසිපිය හෙලන සැනිනි. අනතුරුව පිටියට පැමිණි නායක ස්ටීවන් ස්මිත්ට යැවූ පන්දුව ඊටත් වඩා පුදුමාකරය. පන්දු දෙකකට වඩා පිටියේ රැඳී සිටීමට ඔස්ට්‍රේලියානු නායකයාට ඉඩ නොදුන් තාහීර් සිය ඕවරයේ අන්තිම පන්දුව ස්මිත්ගේ කඩුල්ල තුලට රිංගවූයේ ඕස්ට්‍රේලියානු නායකයා අන්දමන්ද කරවමිනි.

අන්දිලි පෙලුක්වායෝගේ පන්දුවකින් ජොර්ජ් බේලිගේ කඩුල්ල බිඳ වැටෙද්දී මුලු ලකුණු සංඛ්‍යාව දිස්වූයේ කඩුලු 3 කට 75 ක් ලෙසිනි. ඉන් අනතුරුව මිචෙල් මාෂ් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු  ඉනිම ලකුණු 139 දක්වා ඉහළට ඔසවා තැබූ වෝනර් ඊළඟට ට්‍රැවිස් හෙඞ් සමග එක්ව ඉනිම ඇදගෙන ගියේ පස්වැනි කඩුල්ලට ලකුණු 90 ක සම්බන්ධතාවක් එක් කරමිනි. එහෙත් හෙඞ්ගේ දැවීයාමෙන් පසුව වෝනර්ට සහයවීමට කිසිවකු ඉදිරිපත්වූයේ නැත.

කෝඩුකාර පන්දු යවන්නන් පිරිසකගෙන් මුලු තරගාවලියම ඇදගෙන ගිය ඕස්ට්‍රේලියානු නායකයාගේ පීඩනය ඊයේ තරමක් අඩු වූයේ ස්කොට් බෝලන්ඞ්, ක්‍රිස් ටේ්‍රමින් සහ ජෝ මෙනී එක්ව සත්කාරයන්ගේ මුල්පෙළ පිතිකරුවන් දැඩි පසුබෑමකට ලක් කිරීමෙනි. ඉන් නොනැවතුණු මේ තරුණ පන්දු යවන්නන් වඩාත් අනතුරුදායක ඉදිරිපෙළ පිතිකරුවන් වන ක්වින්ටන් ඩි කොක්, හෂීම් අම්ලා සහ නායක ෆෆ් ඩු ප්ලෙසිස් තිදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව 52 ක් වෙද්දී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වූහ.

එහෙත් ජේ. පී. ඩුමිනි පැමිණීමෙන් පසුව අත දිග හරින්නට පටන් ගත් රිලී රුසෝව් බිඳ වැටුණු ඉනිම පිළිසකර කළේ විශිෂ්ට ශතකයකට හිමිකම් කියමිනි. ඔහුට අනගි සහයක් දුන් ඩුමිනි ලකුණු 73 ක් රැස් කළේ රුසෝව් හා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 178 ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි.

ඩුමිනිගේ දැවීයාමෙන් පසුව ඬේවිිඞ් මිලර්ගෙන් රුසෝව්ට ලැබුණේ කදිම සහයකි. මේ දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 51 ක් ගොඩ නැගුවේ ඕවර 6 ක් තුල දීය. වේගවත් පිතිහරඹයක නිරතවූ මිලර් ලකුණු 39 ක් ලැබුවේ පන්දු 29 කිනි.

මෙවර තරගාවලිය පුරා ලකුණු අතරේ සිටි රුසෝව් පළමු තරග දෙකේදීම අර්ධ ශතක රැස් කළ අතර තරගාවලිය නිමාවීමට පෙර අගනා ශතකයකින් සිය කණ්ඩායම ගොඩ ගැනීම කැපී පෙනුණි. තරගාවලිය නිමාවනවිට මුලු ලකුණු 311 ක් ලබා සිටි හෙතෙම තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ වෝනර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවත් සංචාරකයන් අස්වසන්නට එය කොහෙත්ම ප්‍රමාණවත් නොවීය.

දකුණු අප්‍රිකාව – ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 327
(හෂීම් අම්ලා 25, රිලී රුසෝව් 122, ජේ.පී.දුමිනි 73, ඬේවිඞ් මිලර් 39, ක්‍රිස් ටේ්‍රමින් 64/3, ස්කොට් බෝලන්ඞ් 68/2, ජෝ මෙනී 49/3)

ඕස්ටේ්‍රලියාව – ඕවර 48.2කදී සියලු දෙනා දැවී 296
(ඬේවිඞ් වෝනර් 173, මිචෙල් මාෂ් 35, ටේ්‍රවිස් හෙඞ් 35, කයිලි ඇබෝ 48/2, කගීසෝ රබාඩා 84/2, ඉම්රාන් තාහීර් 42/2)

Comments

comments

SHARE