අර්ජුන කුහකයෙක්‌ – ඇමති දයාසිරි කියයි

195
0

මහ මුහුද මැද අතරමං වූ ඔරුවක්‌ එගොඩ කිරීමට නම් ශක්‌තිමත් හබල් ගසන්නකු අවශ්‍යය. මෙරට ක්‍රීඩාවද එගොඩ කිරීමට එවැනි හබල් ගසන්නකු අවශ්‍ය වුයේ මීට වසර කිහිපයක සිටය. නමුත් ශ්‍රී ලංකාවේ බිහිවූ ඇතැම් ක්‍රීඩා ඇමැතිවරු එක තැන හබල් ගැසු අතර තවත් ක්‍රීඩා ඇමැතිවරු ඒ හබලෙන්ම තරමක්‌ ඉදිරියට ඔරුව පදවාගෙන ඒමට සමත් වූහ. කෙසේ වෙතත් දැන් ක්‍රීඩාව නැමැති ඔරුව එගොඩට දක්‌කාගෙන ඒමේ හබල ඇත්තේ වත්මන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අතේය.

ක්‍රීඩා ඇමැතිවරයා වී වසරක්‌ ගතවන මොහොතක ඔහු විසින් කප්පරක්‌ සැලසුම් සකස්‌ කළේය. ඒ අතරට ඔහුගේ පරිපාලනයද විවේචනයට බඳුන් විය. ඒ වටේ සිටින “ගොට්‌ටන්” යෑයි හඳුනා ගත් පිරිසකට දොලපිදේනි දෙන්නට ගොස්‌ය. ඒ සියලු දේ දයාසිරි ජයසේකර ඇමැතිවරයා ප්‍රතික්‌ෂේප කරමින් ක්‍රීඩාව බැබළවීමට ගත් තීන්දු තීරණ සති අන්ත පුවත් පතකට පවසා තිබෙනවා.හමුවේ  “ගැහුව්වොත් ගහනවා. බැන්නොත් බනිනවා. නමුත් ක්‍රීඩාව වෙනුවෙන් කළ යුතු දේ කරනවා.” යන සංකල්පයේ සිටිමින් එම පුවත් පතේ ප්‍රශ්නය වැලට ඇමැතිවරයා මෙසේ මුව විවර කර තිබෙනවා.

ප්‍රශ්නය – වසරක කාලයක්‌ ගෙවී යන අවස්‌ථාවේදී ක්‍රීඩාවේ සිදුවුණු පරිවර්තනයන් සහ සැලසුම් ගැන සඳහනක්‌ කළොත්…?

මම එනකොට අපේ ක්‍රීඩාවන් 17 ක ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ සංගම් ඇතුලේ තිබිච්ච අර්බුද. විශේෂයෙන්ම මම එනකොට පිහිනුම් ක්‍රීඩාව ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව විසින් තහනම් කරලා තිබුණේ. අපේ කොඩිය යටතේ පීනන්න ලැබුණේ නැහැ. බැඩ්මින්ටන්වල තත්ත්වයත් එහෙමමයි. අභ්‍යන්තර අර්බුද ගණනාවක්‌ තිබුණා. මූලික වශයෙන් ඒ ක්‍රීඩා 17 තිබිච්ච ප්‍රශ්න ටික අපි මේ වන කොට සෑහෙන්න ප්‍රමාණයක්‌ විසඳලා තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට්‌ ආයතනයේ නිලවරණය වසර 8 කට පස්‌සේ නිලවරණය තිබ්බා. මේ විදියට ගත්තහම ජාත්‍යන්තර මට්‌ටමින් සහ දේශීය මට්‌ටමෙන් තිබුණු ප්‍රශ්න ගණනාවක්‌ අපි අවසන් කරලා තියෙනවා. ඒ පළමු කාරණය. දෙවැනි කාරණය තමයි වසර 10 ක්‌ තිස්‌සේ ක්‍රීඩා නීතිය සම්බන්ධව තිබුණු ගැටලුව. අවු. 10 ක්‌ තිස්‌සේ ක්‍රීඩා අමාත්‍යවරු 4 දෙනෙකු පොරොන්දු වෙලා තිබුණ කරගත නොහැකි කාරණයක්‌ මම අවසන් කරලා තියෙනවා.

ප්‍රශ්නය – රටේ ක්‍රීඩාවේ දියුණුවක්‌ පෙනෙන්න නැහැ කියල චෝදනාවක්‌ තියෙනවා.. ?

අපි විවිධ ක්‍රීඩාවන් දැන් හඳුනාගෙන තියෙනවා ඉදිරියට ගේන්න. මලල ක්‍රීඩාව තමයි අපේ ප්‍රධාන ඉලක්‌කය වෙලා තියෙන්නේ. ඒ සඳහා ලෝකයේ පිළිගත්ත පුහුණුකරුවන් ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔහු යටතේ පාසල් මට්‌ටම දක්‌වා වූ ශ්‍රී ලංකාවේ සියලුම පුහුණුකරුවන් පුහුණුකරවීමේ වැඩසටනක්‌ සිදුකරනවා. මේ පිළිබඳව අපි දැනටමත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට දැනුම් දීලා තියෙන්නේ. පුහුණුකරුවන්ගේ නම් කීපයක්‌ මේ වන විටත් යෝජනා වී තිබෙනවා.

ප්‍රශ්නය – ඔබ ක්‍රීඩා නීතිය ගැන පවසා සිටියා. කොහොමද එහි තත්ත්වය…?

මේකෙ විශේෂ තැන් ගොඩක්‌ තියෙනවා. ඒ ගැන පසුවට මම කතා කරන්නම්. ප්‍රධාන වශයෙන්ම වසර 4 ක නිල කාලය සම්බන්ධ නීතිය ගැන කියන්න පුලුවන්. එයට ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව විරුද්ධ වුණා. ඔවුන් කිව්වා වසර 4 කින් ගෙදර යන තත්ත්වයට තියන්න එපා, එය පිළිගන්න අපි සූදානම් නෑ කියලා. ඒක නිසා අපිට ඒක පිළිගන්න වුණා. හැබැයි ඔවුන් කිව්වා දැඩි ලෙස අක්‍රමිකතා සහ දූෂිත නිලධාරීන් ඉන්නවා කියපු කාරණය සම්බන්ධව ඕනෑම දෙයක්‌ කරන්න කියලා. ඒ වගේම පෙබරවාරි 28 වැනිදා වෙනකොට කිසියම් සංගමයක මූල්‍ය අයවැය පිළිබඳ විගණකාධිපතිවරයාට ඉදිරිපත් කරලා නැත්නම් කිසිම කෙනෙකුට අපි නිලවරණයට ඉදිරිපත් වෙන්නේ දෙන්නේ නැහැ චෝදනාවෙන් ඉවත්වෙන තුරු.

ප්‍රශ්නය – මේ නීති ගැසට්‌ කිරීම සිදුවන්න තව කොපමණ කාලයක්‌ යයිද?

ලබන සතියේ සම්පූර්ණයෙන් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට පරිවර්තනයන් සඳහා භාර දීලා තියෙන්නේ. ආපු ගමන් ගැසට්‌ කරනවා.

ප්‍රශ්නය – කොයි වගේ වෙනස්‌කම්ද ප්‍රධාන වශයෙන්ම සිදුවෙලා තියෙන්නේ…?

ප්‍රධාන වශයෙන්ම දේශපාලනඥයන්ට එන්න බැහැ. එනවානම් ඔවුන් ඒ ක්‍රීඩාවේ දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ හෝ ක්‍රීඩා කරලා සහතිකපත් තියෙන්න ඕන. නැත්නම් එන්න හම්බවෙන්නේ නැහැ.

ප්‍රශ්නය – වෙන රටවල ක්‍රීඩාවේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ පාසල් කාලයේ සිටම ඔවුන් ඒ සඳහා වැඩපිළිවෙළක්‌ සකස්‌ කරලා තියෙනවා. අපේ රටේ එහෙම දෙයක්‌ නැහැ…

තියෙනවා. දක්‌ෂතා අගය කිරීම පිළිබඳ වැඩසටනක්‌ අපි දැන් ලෑස්‌ති කරලා තියෙනවා. ලංකාවේ කවදාවත් මේ වගේ වැඩපිළිවෙළක්‌ කවුරුත් හදලත් නැහැ කරලත් නැහැ. අපි මුලු ශ්‍රී ලංකාවේම 7 සහ 8 වසරවල ඉන්න දරුවෝ තුන් ලක්‌ෂ හැත්තෑපන්දාහක්‌ විතර එකතු කරලා ලබන නොවැම්බර් 7 සහ 8 දිනවලදී සම්පූර්ණ පරීක්‍ෂණයකට භාජනය කරනවා. විද්‍යාත්මක පරීක්‍ෂණයක්‌ තුළින් පාසල් 5000 ක සම්පූර්ණ පරීක්‍ෂණයට භාජනය කරලා එයින් 50000 ක්‌ අපි ඉදිරි වසර 8 ඇතුළත බලාගන්න වැඩපිළිවෙළක්‌ තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ. විවිධ ක්‍රීඩා මෙයට ඇතුළත්. ඒ අනුව පුහුණුවීම් කරන ස්‌ථාන 312 ක්‌ අපි හදනවා. ඒ සියල්ලම සිදු කෙරෙන්නේ පාසල් මට්‌ටමින්. කොට්‌ඨාශයකට එක පාසල බැගින් කරන මෙම වැඩපිළිවෙළදී ඒ පාසලට තමයි අර දරුවො ඔක්‌කොම එකතු වෙන්නේ.

ප්‍රශ්නය – ඔබ පසුගියදා ක්‍රිකට්‌ ක්‍රීඩාව සමග බරපතල ප්‍රකාශයක්‌ කරලා තිබුණා. ලකුණකට 56,000 ක කතාවක්‌…?

ඔව්. පසුගිය වසරේදි ක්‍රිකට්‌ ආයතනය විසින් එක්‌ ක්‍රීඩකයෙකුට පන්කෝටි හැත්තෑ ලක්‌ෂයක්‌ දීලා තියෙනවා. ඒක ඔහු එම වසරෙදි ගහලා තියෙන ලකුණු ගාණෙන් බෙදුවහම එක්‌ ලකුණකට රුපියල් පනස්‌ හයදාහක්‌ විතර. ඒ වගේ ලකුණකට රුපියල් පනස්‌හයදහසක්‌ ගෙවනවා කියන එක මිනිස්‌සු දැනගත්තොත් ඔය විදියට නොවෙයි ප්‍රතිචාර දක්‌වන්නේ. ඒකයි මම කියන්නේ දක්‌ෂතා මත පදනම්ව ගෙවීම් කළ යුතුයි කියලා. දිනනවා නම් ලක්‌ෂ 10 යි. නැත්නම් ලක්‌ෂ 5 යි. මෙහෙම හැදුවොත් ළමයින් මහන්සි වෙයි තරග ජයග්‍රහණය කරන්න. නැත්නම් කවදාවත් කල්පනා කරන්නේ නැහැ ඔවුන්ට වැරදුණේ කොතැනද කියන එක ගැන. ඔවුන්ට ඕන කණ්‌ඩායම ඇතුළට වෙලා ඉන්නවා. සමහර වෙලාවට දැවී යන විදිය ගැන හෝ හිතන්නේ නැති අය ඉන්නවා. හැබැයි අපේ මිනිස්‌සු දාගෙන අඩනවා අර මනුස්‌සයා දැවී ගිය එක ගැන. ඉතිං ඔහුට ගෙවන ප්‍රමාණය අපේ අය දන්නෙ නැහැ. ඔවුන්ට ගෙවිය යුතුයි. හැබැයි ගෙවන ප්‍රමාණය සාධාරණව සහ ඔවුන් කරන කැපවීමට අනුව තමයි සිදුකළ යුත්තේ. ඕක ගැනයි මම කිව්වේ.

ප්‍රශ්නය – ක්‍රීඩකයන්ට ගෙවන සංඛ්‍යාව ගැන හැමෝටම ගැටලුවක්‌. නමුත් ඔවුන් නිසා තමයි මේ තරම් මුදලක්‌ අපිට ලැබෙන්නේ. පරිපාලකයන් නිසා නොවෙයි. එහෙම එකේ මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරන එක කෙතරම් දුරට සදාචාරාත්මකද කියලා ගැටලුවක්‌ පැන නගිනවා නේද…?

නෑ. එහෙම එකක්‌ නැහැ. හැම කෙනාටම ඒක පොදුයි. අපිට කවුද වගකියන්නේ. දැන් දේශපාලනඥයන් ගත්තත් අරක ගත්තා මේක ගත්තා මෙච්චර ගාණක්‌ යනවා, අර වාහනේ යනවා කියලා කියනවා. එහෙම බැලුවහම ක්‍රීඩකයන්ටත් එය එක සමාන විය යුතුයි. මාධ්‍යවේදීන්ටත් ඒ සමානවම විය යුතුයි. අපි හැමෝම සමානයි කියලනේ දැන් මේ කතා කරගෙන යන්නේ. ඇත්තටම පන්කෝටි ගාණේ කතාව ඇහුවහම මම පුදුම වුණා. පන්කෝටි හත්තෑ ලක්‌ෂයක්‌ දීලා ඒ ළමයා ලකුණු ගහලා තියෙන ගාණ ගත්තහම ඇත්තටම ඔහුගෙ ප්‍රයෝජනය මොකද්ද කියලා මට කියන්න.

ප්‍රශ්නය – අසාර්ථක ක්‍රීඩකයෙක්‌ව තේරීමේ වගකීම තියෙන්නේ ඒ ක්‍රීඩකයාට නොවෙයි තේරීම් කමිටුවටයි…

නෑ. ඒක එහෙම නොවෙයි තීරණය වෙන්නේ. මම ඔබට කියන්නම්. මේකෙ තව කාරණයක්‌ තියෙනවා අපිට නොපෙනෙන. මේකෙදි තේරීම් කමිටුවට විතරක්‌ දොස්‌ කියලා වැඩක්‌ නැහැ. තේරීම් කමිටුව උත්සාහ කරනවා ක්‍රීඩකයන්ට වැඩි අවස්‌ථාවක්‌ දීලා බලන්න ඒ ක්‍රීඩකයා දක්‌ෂතා අතරට එයි කියලා. උදාහරණයකට අපි මාවන් අතපත්තුව ගමු. ඔහු පිට පිට බිංදු 5 ක්‌ ගැහුවා. හැබැයි ඔහුව එතනදී එළියෙන් තිබ්බා. එහෙම තිබ්බට දේශීය තරගාවලියෙදි යළි ලකුණු අතරට ඇවිල්ලා ඔහු ශ්‍රී ලංකාවේ විතරක්‌ නොවෙයි ලෝකයේ බිහිවුණු ඉතාමත් දක්‌ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකු බවට පත් වුණා. නමුත් දිගින් දිගටම ක්‍රීඩකයෝ තියාගන්න සමහර නායකයන්ට උවමනා වෙච්ච කාලයකුත් තිබුණා අපිට මතකයි. මම ඔබට කියන්නම්. අද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඉන්නවා කළමනාකරුවෙක්‌ ක්‍රීඩකයන් 7 දෙනෙක්‌ හෝ 8 දෙනෙකුව කළමනාකරණය කරන. ඔහු තමයි එකම කලමනාකරු. එතකොට නායකයාගෙත් කලමනාකරු ඔහුමයි. එහෙම එකේ ඔහුට කණ්‌ඩායම තුළට ක්‍රීඩකයන් දාගන්න බලපෑමක්‌ කරන්න බැරිද…? පුලුවන් වෙන්න ඕනනේ.

ප්‍රශ්නය – ඔය ගැටලුව අද ඊයේ ආපු දෙයක්‌ නොවෙයි. මහේල-සංගක්‌කාර-මුරලි ක්‍රීඩා කළ කාලයේ පටන් තිබුණ දෙයක්‌ නේ…?

කොච්චර කාලේ ඉඳලා ආවත් එන නායකයාව අල්ලගන්නවා. ඊට පස්‌සේ උප නායකයවත් අල්ල ගන්නවා. මහේල ද සංගාද කියන එක නොවෙයි ප්‍රශ්ණය තියෙන්නේ. හැමදාම එහෙම වෙනකොට ඒක හරිද කියලයි මම අහන්නේ. දැන් අලුත් ක්‍රීඩකයෙක්‌ ආවොත් අර කළමනාකරුවා ගිහින් කියනවා මගේ ළඟට ඇවිල්ලා කොන්ත්‍රාත්තුව අත්සන් කරන්න කියලා. අත්සන් කළේ නැති වුණොත් මොකද වෙන්නේ ඔහුව එළියට තල්ලු කරනවා.

මේ මාෆියා එක හැමදාම තියෙනවා. කොහෙන් හරි මෙය නතර විය යුතුයි. මේ ගැන ආරංචි වුණාම මම විශේෂයෙන්ම ක්‍රිකට්‌ සභාපතිතුමත් එක්‌කත් කතා කලා. එහිදී අපි තීරණය කලා මේ සම්බන්ධව අපි ලිපියකින් දැනුම් දිය යුතුයි කියලා කිසියම් ක්‍රියාමාර්ගයක්‌ ගන්න කියලා. මොකද මේක සම්පූර්ණ වැරදි වැඩක්‌.

ප්‍රශ්නය – ඔබ ඔය නොකියා කියන්නේ තරග පාවාදීම් සිද්ධීනුත් මේ හරහා සිදුවීමේ ඉඩකඩක්‌ තියෙනවා කියලද…?

පැහැදිළිවම. ඕනෑම දෙයක්‌ කරන්න පුලුවන් තත්ත්වයක්‌ තියෙනවා මේක ඇතුලේ. අපිට තරග පාවාදීම් නොවෙයි කියලා කියන්න බැහැ.

ප්‍රශ්නය – රටට මුදල් ගේන ක්‍රීඩකයන්ගේ මුදල් කප්පාදු කරනවා. ඒ ගේන සල්ලිවලින් නිකරුණේ පඩි ගන්න පිරිස්‌ ක්‍රිකට්‌ ආයතනයේ ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් ගැනත් තීරණයක්‌ ගත යුතුයි නේද…?

ඒ ගැන අවධානය යොමු කරලා තියෙන්නේ. මේ වසරේ අවසානයත් සමග සෑහෙන පිරිසක්‌ අයින් වෙනවා. කොන්ත්‍රාත් පදන්මට අනුව සේවය කරපු සෑහෙන පිරිසක්‌ මේ හරහා අයින් වෙයි. ඒ වගේම ඔවුන් හදන්නේ පළාත් ක්‍රමයට ගේන්න. ඒකත් හොඳ කාරණයක්‌. මොකද ක්‍රිකට්‌ බෝඩ් එකේ කියන කට්‌ටිය ගත්තොත් ඔක්‌කොටම ප්‍රසාද දීමනා හම්බවෙනවා. ඒ වගේම පඩියක්‌ හම්බ වෙනවා. හැබැයි මේ අය අපි පළාත් මට්‌ටමට දැම්මොත් ඒ අයට පළාත් සංගමයට දෙනවා සල්ලි ටික එයාලට ගෙවන්න කියලා. එතකොට ඒ වැඩපිළිවෙළත් ආවොත් ඔය ලොකු පඩි කියනවා ඒවා අඩු වෙයි.

ප්‍රශ්නය – ඔබ ක්‍රිකට්‌ සභාපතිවරයා සමග ළඟිsන්ම වැඩ කරනවා කියල චෝදනාවක්‌ තියෙනවා…?

ඔය කතාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මොකද හේතුව ඔය කතාව දැන් ඔලිම්පික්‌ කමිටුවෙ අයත් සමගත් මම එකතුයි කියලා කියනවා. මම හැම කෙනෙක්‌ එක්‌කම සුහදව තමයි වැඩ කරන්නේ. රන්ඩු කරන්න යන්නේ නැහැ. හැබැයි රන්ඩු කරනවා නම් රන්ඩු කරන්නත් යනවා. නිකන් ගිහිල්ලා මිනිස්‌සු එක්‌ක පැටලෙන්න මට උවමනාවක්‌ නැහැ. ක්‍රිකට්‌ නිලවරණයේදී අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාලලාගේ ඉතිහාසයේ අපි දන්නවා දොගොල්ලොම එකට හිටියේ කියලා. 1996 ලෝක කුසලානය දිනලා ඇවිල්ලා ආනා පුංචිහේවාව එලෙව්වේ. තිලංගලගෙ ගෙදර ගිහිල්ලා තමයි අර්ජුන කෑම බීලා කාලා ඒ කාලේ හිටියේ. එතකොට මෙයාලා හොඳ යාලුවෝ. දැන් මෙයාලා තරහා වෙලා තියෙනවා. මොකද ක්‍රිකට්‌ නිලවරණය නිසා. එතකොට නිලවරණයෙන් එන සභාපතිත් එක්‌ක මම වැඩ කරන්නේ නැතිව මොකා එක්‌කද වැඩ කරන්නේ…? පත්වෙච්ච සභාපතිවරයාත් එක්‌ක අපි සාකච්ඡා කරමින් ඉස්‌සරහට යන්න ඕන. එතකොට එයාලා කරන හැම වැරැද්දක්‌ම මම ආරක්‌ෂා කරන්නේත් නැහැ. මම කියන්න කැමැතියි සමහර ටෙන්ඩර් ගැන අපේ ලේකම්තුමා හරහා විශේෂ කමිටුවක්‌ පත් කරලා සමහර ඒවා මම නැවැත්තුවා. නවත්තලා විගණකාධිපතිවරයෙක්‌ පත් කරලා කමිටුවක්‌ පත් කරලා පරීක්‍ෂණ කරලා තමයි වැඩ කරන්න ඉඩ දුන්නේ. ඒ හින්දා මේ කියන ඇයි හොඳයියක්‌ නැහැ. අර්ජුන රණතුංගට තියෙන පිස්‌සුවට කියෙව්වට මම පළි නැහැ. එයාලා අතර තියෙන ප්‍රශ්නයට මාව පටලවගන්න එපා කියල මම අර්ජුනට හැම වෙලේම කියනවා. මොකද ඒක තිලංගත් එක්‌ක බලාගන්න. ප්‍රශ්නයක්‌ තියෙනවා නම් මට කියන්න. ඒ ප්‍රශ්නයට මම උත්තර දෙන්නම්.

මම දැක්‌කා මගේ රියෑදුරෙක්‌ව මම රට අරන් ගියා කියලා දාලා තියෙනවා. මම කිව්වා එහෙම කළා කියලා ඔප්පු කළොත් මම හෙට උදේම ඉල්ලලා අස්‌ වෙනවා බැරි වුණොත් එයා ඉල්ලා අස්‌විය යුතුයි කියලා. මේවා සම්පූර්ණ අවලාද. අර්ජුනගේ තියෙන කුහක කමයි… ඇත්ත වශයෙන්ම ඔහු තවත් කෙනෙකු ලෝක කුසලානයක්‌ අරගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැති කෙනෙක්‌. ඒකත් හරියට ඔය සමහර ක්‍රීඩිකාවෝ ඇවිල්ලා ඔය මීටර 200 දුවලා වර්ල්ඩ් රෙකෝඩ් එක කඩපුවහම ඇවිල්ලා කියන්නේ ඒ රෙකෝඩ් එක කැඩුවේ නැහැ කියලා. ඒ වගේ තමයි. මේ මං ‘පොර සංකල්පයේ’ තියෙන ආදීනව තමයි අර්ජුණ රණතුංග තුළින් විද්‍යාමාන වෙන්නේ. ඔහු ඉස්‌සර ඉඳන්ම මගේ හොඳ යාලුවෙක්‌. තාමත් ඒ යාලුකම එහෙමමයි. ඒත් කොහේ හරි තැනක ක්‍රිකට්‌ පොඩ්ඩක්‌ ගස්‌සලා මාධ්‍යයට ටෝක්‌ එකක්‌ දෙනවා ක්‍රිකට්‌ වල අර්බුද තියෙනවා කියලා. එයාගේ මල්ලි පාලනයේ හිටපු කාලවල අර්බුදවලට තමයි අපි දැන් මුහුණ දීලා තියෙන්නේ. බිලියන ගණන් ණයයි ක්‍රිකට්‌ ආයතනය. ඉතිං ඒ නිසා ඒව තමයි කල්පනා කරන්න ඕන. ඉතිං ඒ අයවනේ උස්‌සන් ආවේ මේ දූෂිතයි දූෂිතයි කියපු ක්‍රිකට්‌ ආයතනයේ, ලේකම්වනේ උස්‌සන් ආවේ සභාපති කරන්න. ඉතිං එතන මොකද්ද තියෙන යහ පාලනය.

ප්‍රශ්නය – 2024 දී ඔලිම්පික්‌ පදක්‌කම් දිනන්න ඔබ සැලසුම් කරලා තියෙනවා. එහෙම සැලසුමක්‌ කළත් අපි තවම හරි හැටි ධාවන පථයක්‌වත් නෑනේ…?

ඒක ඇත්ත. අපේ ධාවන පථයේ තාක්‌ෂණ ඇගැයීම ඉවර කරගන්නත් මාස හතරහමාරක කාලයක්‌ ගියා. ඊළගට ටෙන්ඩර් කමිටුවේ වැඩ ඉවර වෙන්න. ඔවුන් එහාට තල්ලු කරනවා මෙහාට තල්ලු කරනවා. මේක ඇද ඇද ඉන්න. මම ඔවුන්ට කිව්වා එහෙම කරන්න එපා කියලා. දැන් වැස්‌සත් එක්‌ක තමයි අපිට ධාවන පථය දාන්න වෙලා තියෙන්නේ. පුලුවන් තරම් ප්‍රමාදය අවම කරගෙන තමයි මේ ක්‍රියාදාමයට අපි ගියේ. දැන් අපිට බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 20 වෙනකොට වැඩ ඉවර කරලා කොහොම හරි ජනවාරි පෙබරවාරි වෙනකොට ධාවන පථයේ වැඩ ඉවර කරන්න.

ප්‍රශ්නය – ක්‍රිකට්‌ වලට සම්බන්ධව ඔබේ නම ගෑවෙනවා වගේම ඔලිම්පික්‌ කමිටු නිලවරණය පමාවීම කෙරෙහිත් ඔබේ නම ඈඳෙනවා. ඉහතින් ඔබ දුන් පිළිතුරකත් ඒ පිළිබඳව සඳහන් වෙනවා. කොහොමද මේ ඔලිම්පික්‌ කමිටු නිලවරණය…

ක්‍රීඩා නීතිය සම්බන්ධව සිදු කිරීමට නියමිත වෙනස වසර ගණනාවක්‌ තිස්‌සේ කරගන්න බැරි වීම නිසා වසර ගණනාවක්‌ තිස්‌සේම එකම නිලධාරීන් පිරිසක්‌ ඉන්න තත්ත්වයට ඔලිම්පික්‌ කමිටුව පත් වෙලා තියෙනවා. ඒ අවු. 10 ක්‌ තිස්‌සේ ඇමැතිවරු 4 දෙනෙක්‌ පොරොන්දු වෙලා තිබුන ක්‍රීඩා නීතියේ ගැටලුව අපි දැන් අවසන් කරලා තියෙනවා. එය ලබන සතියේ ගැසට්‌ කරන්න බලාපොරොත්තු වෙනවා. මම කළින් කිව්වා වගේ ගැසට්‌ කරලා මාසයක කාලයකින් පසු අපි ඔලිම්පික්‌ නිලවරණය පවත්වනවා.

ප්‍රශ්නය – ක්‍රීඩා අමාත්‍යවරයා විදියට ඔබේ ධුරයේ කටයුතු පිළිබඳව ඔබ තෘප්තිමත්ද…?

මම බොහොම තෘප්තිමත්ව වැඩ කරන්නේ. මම ගොඩක්‌ මහන්සි වෙලා වැඩ කරනවා. ඒ සම්බන්ධව විශාල කැපවීමක්‌ කරලා තියෙනවා. අනාගතයේදීත් ඒ කැපවීම කරන්න බලාපොරොත්තු වෙනවා.

Comments

comments

SHARE