“ගොඩ්ඩා” වීරයෙකු විය යුත්තේ කොළඹට විතරද?

101
0

කොළඹ 7 ග්‍රීන් පාරත් හී මහජන පුස්‌තකාල අන්තය එක්‌තරා ජය ඝෝෂා නාදයකින් ගිගුම් දෙන දහවලකි. “කමෝන් ශ්‍රී ලංකා” යන්නට පසුව මහ හයියෙන් මෙසේ ඇසේ. “ගොඩ්ඩා.. ගොඩ්ඩා.” ඒ අසලින් ගමන් ගන්නා 177 බස්‌ රථවල කව්ලු අතරින් මගීන් එබී බලනුයේ කුහුල පිරි මුහුණකිනි.

ජාතික කළා භවනට යාබදව ඇති ටෙනිස්‌ පිටිය මැද සුද්දෙකු හති හලමින් ඒ මේ අත දුවමින් සිටියි. පිටිය වටා විශාල පිරිසක්‌ තරගය නරඹන අතර පපරේ බෑන්ඩ් කණ්‌ඩායමක්‌ වරින් වර ප්‍රීති ගීත වයති. සිංහ කොඩිය ලෙළදේ. එහෙත් කවුද මේ “ගොඩ්ඩා”?

නවසීලන්තයේ අංක 1 ටෙනිස්‌ ක්‍රීඩක ඩැනියෙල් කිංග්-ටර්නර් මෙරට ජාතික ටෙනිස්‌ සංගම් පිටියේ “හොම්බෙන් ගිය” එදින 2010 මාර්තු හත්වැනිදා විය. එවිට ලෝකයේ හොඳම ක්‍රීඩකයින් 250 අතර සිටි කිංග්-ටර්නර් දහවල් එකට පමණ දැඩි වෙහෙස දරාගත නොහැකිව පිටිය මැද ඇද වැටේ. නවසීලන්ත සහායක ක්‍රීඩකයන් ඔහුව ඔසවාගෙන ක්‍රීඩාගාරය දෙසට රැගෙන යද්දී පපරේ තරුණයෝ “තූනෙ මාරි එන්ටි්‍රයාන් – ටංග්..ටංග්..ටංග්..” ගීතය වාදනය කරති. පිටිය මැද සුදු පැහැ ටී ෂර්ටයක්‌ හා කොට කළිසමක්‌ ඇඳගත් කෙසඟ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ප්‍රීති ඝෝෂා නගන, සිය ගණනක්‌ ප්‍රෙAක්‍ෂකයින් හට සිය හිස නමා ආචාර පුද කරයි.

“ගොඩ්ඩා” යන සුරතල් නාමයෙන් ආමන්ත්‍රණය කරන මොහු හර්ෂණ ගොඩමාන්නයි. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ බිහිවූ ප්‍රබලතම ටෙනිස්‌ ශූරයා මොහුය.

කොළඹ ඉපිද සුප්‍රකට රාජකීය විදුහලට ගිය, කුඩා බුදු පිළිමයක්‌ මීටර් බෝඩ් එකමත රැදවු බී.එම්.ඩබ්ලිව් රථයකින් ඇතැම් විට ක්‍රීඩා කිරීමට එන මොහු පසුගිය අවුරුදු දහය පුරාම ශ්‍රී ලාංකීය ටෙනිස්‌ ක්‍රීඩාවේ තනි තරුවක්‌ විය. දෙකෝටියක්‌ සිටින රටක්‌ වෙනුවෙන් ටෙනිස්‌ ක්‍රීඩාවෙන් විප්ලවයක්‌ ඇරඹු හර්ෂණ කල දේ දන්නේ කොළඹ දෙසට කොටුවූ ටෙනිස්‌ සමාජය පමණි. ඒ නිසා “ගොඩ්ඩා” මෙරට ක්‍රීඩා ලෝකයේ ඇගයීමට ලක්‌වන්නේ ඉතාම අල්ප ප්‍රමාණයකිනි.

වයස අවුරුදු හයේදී එනම් 1991 වසරේ ටෙනිස්‌ පිත්ත අතට ගත් “ගොඩ්ඩා” සිය පවුල මෙම “ධනේෂ්වර” ක්‍රීඩාවට නෑකම් කියූ නිසා තරගය බිමට පිවිසි කෙනකු නොවේ. ගොඩමාන්න පවුලේ පියා සහ සීයා වන තිලක්‌ හා ඇල්ෆ්‍රඩ් ගොඩමාන්නලා වඩා ප්‍රචලිත සිය ඡායාරූප හා සම්බන්ධ ව්‍යාපාරයට සහ “බඹරු ඇවිත්”, “පාරදිගේ” වැනි සම්භාව්‍ය චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙනි. නමුත් හර්ෂණ නොකඩවා ටෙනිස්‌ ගැසුවේය. ඔහුගේ ක්‍රීඩා දිවියේ මුල් වසර දහය ගත වන්නේ මෙරට ටෙනිස්‌ ක්‍රීඩාවේ ඇල්මැ රුණු, සංක්‍රමණික යුගයක්‌ හරහා යෑයි කිව හැකිය. අසූව දශකයේ ප්‍රබල ජාතික ශූරයන් වු අර්ජුන් ප්‍රනාන්දු, උමේෂ් වාලුපිල්ලේ, රොහාන් ද සිල්වා, ජයේන්ද්‍ර විඡේසේකර වැන්නන්ගේ සමුගැනීමෙන් පසු ජාතික ටෙනිස්‌ පිල වැටී සිටි අගාධයෙන් ඔසවා තබන්නට “ගොඩ්ඩා” ට හැකිවිය.

unnamed2005 වසරේදී සිය පළමු ජාතික ශූරතාව දිනා ගැනීමෙන් පසුව නොසිතූ අවස්‌ථාවක ඔහු හට වැඩිදුර පුහුණුවක්‌ සඳහා තායිලන්තයට යැමට සිදුවේ. වරක්‌ ලෝක පුජිත ක්‍රීඩකයකු වු රොජර් ෆෙඩරර්ගේද පුහුණුකරු ලෙස ක්‍රියා කොට සිටි ස්‌විස්‌ ජාතික ඩොමිනික්‌ උට්‌සිංගර් මහතා හර්ෂණගේ ක්‍රීඩා දිවියේ වගකීම එතැන් සිට භාර ගත්තේය. තායිලන්තයෙන් ඇරඹු පුහුණුව ඔහුව ලෝක මට්‌ටම දක්‌වා ඇදගෙන යැමට උදව්කළේය. වසර 2010 දී ගොඩමාන්න වසර 25 කට පසුව නුතන ටෙනිස්‌ ලෝකයේ පළමු දහස අතරට එක්‌වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීම රටක්‌ ලෙස අප ලැබූ අභිමානයකි.

වමතින් ටෙනිස්‌ පිත්ත හසුරුවන ගොඩමාන්නගේ ඇතැම් පහරවල් විදෙස්‌ නරඹන්නන්ගේ ආකර්ශණයට බඳුන් විය. කළාපය තුළ දෙට කැඩී තිබු ශ්‍රී ලංකාවේ ටෙනිස්‌ කොඳු නාරටිය නැවත නගාසිටුවීමට ගොඩමාන්නට හැකිවිය.

සිය ක්‍රීඩා දිවියේ අවසන් අධියරට එළැඹ සිටන ‘ගොඩ්ඩා’ ටෙනිස්‌ දේශීයත්වයක්‌ සෙවීමට අරගල කරන අද දිනයේ අත්‍යාවශ්‍ය පරමාදර්ශයකි.

ඔහුගේ වීරත්වය අවැසි කොළඹට පමණක්‌ නොවේ, මුළු රටටමය.

රේවත එස්‌.සිල්වා

Comments

comments

SHARE