හාරසීයට හතරයි

1207
0

තම  උපන් බිමේ දී  ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේ වරම අහිමි වීම හදවතේ කොනක ගුලිකරගත් පාකිස්ථානය තම 400 වන ටෙස්ට් තරගය සදා මතකයේ රැදෙන තරගයක් බවට පත් කිරීමේ දැඩි ලෝභයකින් පෙළෙනාවට සැක නැත. ඒ වෙනුවෙන් පෙරගමන් ගිය  අසාර් අලි පාකිස්ථාන ටෙස්ට් ඉතිහාසයේ සිව්වන  ත්‍රිත්ව ශතකය ලබමින් අමරණීය විය.

පාකිස්ථාන ටෙස්ට් ඉතිහාසයේ පළමු ත්‍රිත්ව ශතකය ලියවෙන්නේ  1958 බාර්බෙඩොස් හිදීය. පළමු ඉනිමේ ලකුණු 106 කට සීමාවෙමින් ප්‍රබල කොදෙව්වන්ට වඩා තවත් ලකුණු 473 ක් පිටුපසින් සිට යලි දෙවන ඉනිමට පාකිස්ථානය මුල පුරන්නේ ඉනිමක පරාජය අතේ දුරින් තබාගෙනය. නමුත් සියල්ල කණපිට ගසන්නේ ඉන්දියාවේ ගුජරාට් හි උපන් දකුණත් ආරම්භක පිතිකරු  හනිෆ් මොහමඩ් කෙන්සින්ටන් ඕවල් පිටියේ කදවුරු බදින්නට පටන් ගැන්මත් සමගය. පුරා පැය 16 ක් සහ විනාඩි 13 ක් පිටියේ ඉවසා සිටි හනිෆ් හතරේ පහර 24 කින්  අපුරුවට ඉනිම සැරසීය. ඒ අතර තුර ශතක සබදතා තුනක් සමග ඔහු  ත්‍රිත්ව ශතකය කරා  සෙමෙන් ලගාවද්දී අනිත් අන්තයේ රැදුණු පිතිකරු තමාගේම සොහොයුරෙකු වූ වසීර් මොහමඩ් වීම හනිෆ් මොහමඩ් වෙත ගෙනදුන්නේ අස්වැසීල්ලකි. පරාජය එළිපත්තේ සිටි තම පිල ජය පැරදුමෙන් තොර ගෞරවනීය තලයට ඔසවා ලකුණු 337 ක සටන්කාමී ඉනිමක් දියත් කල හනිෆ් මොහමඩ් පසුගිය අගෝස්තුවේ ජීවන ගමන නිමා කලත් පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු සුපිරි තරුව ලෙස ඔහු තැබූ සලකුණ කිසිදා නොමියෙනු ඇත.

2002 නවසීලන්ත පිලේ පාකිස්ථාන සංචාරයේ පළමු ටෙස්ට් තරගයට සත්කාරකත්වය පැවරෙන්නේ ලාහෝර් නුවර ගඩාෆි පිටියටයි. පළමුව පන්දුවට පහරදුන් සත්කාරක පිල වෙනුවෙන් ඉනිමේ බර කරට ගත් පිතිකරුවා වුයේ ඉන්සමාම් ය. ඒ වන විට‍ත් අත්දැකීම් අතින් පදම්ව සිටි මේ දකුණත් පිතිකරුවා ඔහුගේම රීතියකින් නවසීලන්ත සුදු මුහුණු රතු කරන්නට වූ අතර පිටිය පුරා සිත් සේ රිසි සේ පන්දුව තල්ලු කරමින් පළමු දිනය නිමා කරන විටත් නොදැවී ලකුණු 159 ක් ලබා සිටියේ තවත් දිගු ඉනිමකට කර අරිමිනි. දෙවන දිනයේ දිවා භෝජනයට පෙර තම දිත්ව ශතකය සම්පුර්ණ කල ඉන්සමාම් සැමදා ඔහුට වේදනා දුන් මස්පිඩු පෙරලීමේ වේදනාවෙන් යලි මිරිකෙන්නට විය. එතැන් පටන් ලකුණ – දෙක ලබාගනිමින් තව දුරටත් පාදයට දුක් දෙන්නට අකමැති වූ ඉන්සමාම් තම පිත්තේ සගවා සිටි යක්ෂයා අවදි කලේය. පළමු ලකුණු 100 ලබන්නට පන්දු 191 ක් වැය කල ඉන්සමාම් දෙවන ලකුණු 100 වෙනුවෙන් පන්දු 132 ක් වැය කලේය. නමුත් පාකිස්ථාන ටෙස්ට් ඉතිහාසයේ වසර 24 කට පසු යලි ත්‍රිත්ව ශතකයක් වෙනුවෙන් ඉනිම දිගු කල මේ දේහදාරී පිතිකරුවා තම අවසන් ලකුණු 100 වෙනුවෙන් හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමගින් පිටියේ ප්‍රචණ්ඩ වන්නේ තේ පානය වන විට සදාකාලික මතකයක් සහිත ත්‍රිත්ව ශතකයද සම්පුර්ණ කරමිනි. නවවන කඩුල්ලට අක්තාර් සමග ලකුණු 78 ක වාර්තා ගත සබදතාවයක් ගොඩ නැගු ඉන්සමාම් පා දග පන්දු යවන වෝකර්ස් හමුවේ එකම ඕවරයට 6 පහර තුනක් ලබා සිව්වන්නට කල උත්සාහයේදී ලෝන්ග් ඕන් වෙත උඩපන්දුවක් දී දැවී යන්නේ ලෝක ටෙස්ට් ඉතිහාසයේ දසවන ඉහළම ඉනිමද තමාගේ නමට පවරමිනි. විනාඩි 579 ක් කඩුල්ලේ රැදෙමින් හතරේ පහර 38 ක් සහ හයේ පහර 9 කින් සවිමත්ව ඉන්සමාම් ලැබූ ලකුණු 329 ක සටන්කාමී ඉනිම ගෞරවනීය කල අක්තාර් තරගයේ කඩුලු 11 ක් දවා ගනිමින් ඉනිමක ජයක් වෙනුවෙන් තම පිල රැගෙන යන්නට සමත් විය.

පාකිස්ථාන ටෙස්ට් ඉඩෝරය නිමා කරමින් මාස 14 කට පසු පැමිණි පළමු සංචාරකයින් ලෙස ශ්‍රී ලංකා පිල 2009 දී ටෙස්ට් තරගාවලියකට එකතු විය. පළමු තරගය වෙනුවෙන් කරච්චි ජාතික පිටිය වෙන්වද්දී පළමු දින දෙක තුලම වැඩි වාසි රදවාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තිලාන් සමරවීර තම පළමු දිත්ව ශතකය සම්පුර්ණ කල අතර මහේල ජයවර්ධන මව්බිමෙන් එපිට තම පළමු දිත්ව ශතකය ලබා ලකුණු 644 ක දැවැන්ත ලකුණු පුවරුවක් ශ්‍රී ලංකා නම ඉදිරියේ ලියවන ලදී. පාකිස්ථාන පළමු කඩුල්ල ලකුණු 44 දී බිදවැටුණු අතර අංක 3 පිතිකරු යුනිස් ඛාන් වෙත වගකීම භාර විය. නායකත්වයේ වගකීමද මේ තරගාවලියෙන් ඔහුට පැවරුණු බැවින් පීඩනය සුළු නොවීය. එවකට ඕනෑම තණතීරුවක පෙම් කල හැකි ලෙස තම අත්දැකීම් මුවහත් කරමින් සිටි මුරලි මෙන්ම වාස් ද ප්‍රතිවාදී පිලේය. අජන්ත මෙන්ඩිස් ද උපරිමයේ විය.හිටිහැටියේ කඩාවදින දිල්හාරගේ පන්දුවටද පරිස්සම් විය යුතුය. පාකිස්ථාන් උතුරු කෙලවරේ ඇෆ්ගන් දේශ සීමාවේ උපන් යුනිස් ඉන් කිලෝමීටර 1770 ක් දකුණින් වූ කරච්චි නුවර සම්පුර්ණ අණසක තුන්වන දිනය නිමා කරන විට පැතිරවුයේ නොදැවී ලකුණු 149 ක් ලබමිනි. තරගයේ සිව්වන දිනය යලිත් යුනිස් වෙතම පැවැරූ දිනයක් විය. මුරලිදරන් ඇති පමණට වෙහෙසකල යුනිස් ඛාන් පාකිස්ථාන ටෙස්ට් ඉතිහාසයේ තුන්වන ත්‍රිත්ව ශතකය සම්පුර්ණ කලේ කණ්ඩායම් නායකයා ලෙස එම සීමාව පසුකල පළමු වන්නාද වෙමිනි. අවසන් දින උදැසන  කරච්චි ජාතික පිටියට බහුතරය රැස්වූයේ යුනිස් ඛාන් ඉක්මනින්  ලාරාගේ වාර්තාව පසුකරනු ඇති බවට වූ විශ්වාසයෙනි. තණ තීරුව පන්දු යවන්නන්ට දින හතරක් පුරා කිසිදු සහයක් නොදීම ඒ විශ්වාසය තවත් වැඩි කරන්නට විය. නමුත් අවසන් දිනයේ ලකුණු 7 ක් පමණක් යුනිස් එක් කරද්දී දිල්හාරගේ පන්දුවක් අනපේක්ෂිත ලෙස කඩුල්ල කඩා දමද්දී කරච්චි වීරයා තම සුපිරි ඉනිම නිමා කලේය. මිනිත්තු 760 ක් කඩුල්ලේ රැදුණු යුනිස් ඛාන් හතරේ පහර 27 ක් සහ හයේ පහර 4 කින් සවිමත් ලකුණු 313 ක් ලැබූ අතර මේ ඉනිම අවසන ස්ථාන 6 කින් ඉහළට එමින් ලොව ශ්‍රේණි ගත ටෙස්ට් පිතිකරු නාමාවලියේ අංක 01 දිනා ගන්නට පාකිස්ථාන නායකයා සමත් විය.

පාකිස්ථානය තම 400 වන ටෙස්ට් තරගය සමරද්දී ඉතිහාසයේ සිව්වන ත්‍රිත්ව ශතකය වාර්තාවීම ද වර්ණවත් සිදුවීමකි. පන්ජාබයේ උපන් අසාර් අලි මේ දස්කම දක්වන්නේ ඔවුන්ගේ දෙවන ගෙදර ලෙස සැලකෙන ඩුබායි හිදීය. සම්ප්‍රදායික ටෙස්ට් රටාව නවීකරණය වෙමින් ඇති පසුබිමක දිවා රාත්‍රී ටෙස්ට් තරගයක රෝස පැහැති පන්දුවෙන් ඔහු මේ වික්‍රමය කලේ තවත් වර්ණවත් වාර්තා රැසක් ලියා තබමිනි. 1958 කොදෙව්වන්ට එරෙහිව හනිෆ් මොහමඩ් ත්‍රිත්ව ශතකයක් ලැබූ පසු කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් ලද පළවෙන්නා අසාර් අලි ය. තව දුරටත් ඉනිම දිගුකල හැකිව තිබුනත් ඉතිහාසගත 400 වන තරගයේ ජය සිහි තබාගත් අසාර් ඉනිම අත්හිටුවන විට නොදැවී ලකුණු 302 ක් ලබා සිටියේ  මිනිත්තු 658 ක් කොදෙව්වන් වෙහෙස කරමිනි. ඊට හතරේ පහර 23 ක් සහ හයේ පහර 2 ක් එකතු කිරීමටත් ඔහු උනන්දු විය.

ඉන්දියාවෙන් කෑල්ලක් කඩාගත් මොහමඩ් අලි ජින්නා පාකිස්ථානය නිර්මාණය කලේ වේදනාවන් රැසක් මැදය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තරග 400 ක මතකය තුල  අලි ජින්නාගේ පරපුරට සතුට මෙන්ම දුකද පිනුම් ගසනවාට සැක නැත. ලෝක ජන ගහනයෙන් හයවන විශාලම රටේ මිලියන 200 ඉක්මවූ ක්‍රීඩා ප්‍රේමීන් තම ටෙස්ට් වංශකතාවේ සිව්වන ත්‍රිත්ව ශතකයේ මිහිර විදින අතර තවත් අවිහිංසක පැතුමක් පතන බවනම් සහතිකය. ඒ තමන්ගේ රටේදීම  ටෙස්ට් තරගයක් දෙනෙතින් විදීමේ සජීවී පංගු කාරයන් වීම බවනම් නොරහසකි.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE